ගැම්බියානු සිසුන් මියගිය සිද්ධියට අදාළ ඖෂධ මෙරටට ගෙන්වා ගත්තාද??.. සෞඛ්‍ය ඇමතිගෙන් පිළිතුරක්

By Sithumi Oct 06, 2022 01:15 PM GMT
Sithumi

Sithumi

Report

අප්‍රිකාවේ ගැම්බියා රාජ්‍යයේ ළමුන් පිරිසක් මියගියේ යැයි කියන සිද්ධියට අදාළ ඉන්දියානු ඖෂධ සමාගමේ එම ඖෂධ නිෂ්පාදන මෙරටට ගෙන්වා නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඒ පිළිබඳව අවධානය යොමු කරමින් එම ඖෂධ වර්ග ඉදිරියේදීත් කිසිසේත් මෙරටට ගෙන්වීමක් සිදු නොකෙරෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

අද ( 06) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදී රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළා. රටට ඖෂධ ගෙන්වීමේදී ඒ සඳහා වන නිසි නියාමන ආයතන පවතින බවත් ඒ අනුව අදාළ ඖෂධ මෙරටට ගෙන්වා නොමැති බවත් අදාළ අංශයන්ගෙන් කළ සොයා බැලීමකදී තහවුරු වූ බවත් අමාත්‍යවරයා කියා සිටියා.

මෙරට ඖෂධ ලියාපදිංචි කෙරෙන ජාතික ඖෂධ නියාමන අධිකාරිය, රට තුළට ඖෂධ ගෙන්වන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ ඖෂධ බෙදාහැරීම් කෙරෙන ඖෂධ සැපයුම් අංශය යන අදාළ ආයතනයන්ගෙන් මේ පිළිබඳව සොයා බැලූ අතර එයට අමතරව පසුගිය වකවානුව තුළ මෙරටට ලැබුණු පරිත්‍යාග පිළිබඳව සොයා බැලීමේදීද එම ඖෂධ මෙරටට ගෙන්වා නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් තහවුරු කර ගෙන තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම ඖෂධ සම්බන්ධයෙන් අවදානම් නිවේදන නිකුත් කර ඇති අතර ශ්‍රී ලංකාව තවදුරටත් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් කටයුතු කරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා ඒ අනුව ශ්‍රී ලංකාව තුළ මේ පිළිබඳව කිසිදු සැකයක් ඇති කරගතයුතු නොමැති යැයිද සෞඛ්‍ය අමාත්‍යවරයා කියා තිබෙනවා.