කන්නවත් හාල් නැතිවෙනවද ? ඇමති ලාල් කාන්ත උත්තර දෙයි
කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසන්නේ, රටේ සහල් හිඟයක් හෝ සහල් මිල ඉහළ යාමක් සිදුවීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවයි.
“පසුගිය මාස් කන්නයේ අප බලාපොරොත්තු වූ ආදානය ලැබිය නොහැකි වුණා. එයට හේතුව වුණේ කාලගුණ තත්ත්වයන් හේතුවෙන් විශාල ලෙස වගා කටයුතු බාධා වීමයි. නමුත් එය ජනතාවට අර්බුදයක් නොවී පවත්වා ගැනීම සඳහා අප ක්‍රියාත්මක වුණා. ගොවීන්ට සුදුසු මිලක් හිමි වුණා. නමුත් පාරිභෝගිකයාගේ පාර්ශ්වයෙන් බලද්දී ඉදිරියේදී අභියෝග මතුවිය හැකිය.
ඒ නිසාම අපි විදේශයන්ගෙන් අවශ්‍ය සහල් ප්‍රමාණය සැලසුම්ගත ආකාරයකින් ආනයනය කිරීමට කටයුතු කරනවා. අප කිසිසේත්ම සහල් මිල ඉහළ යාමට ඉඩ නොදෙමු. අපි පිටරටින් ගෙන්වන්නේ නිෂ්පාදන අඩුවීමකට පිළියමක් ලෙසයි.
එය ගොවීන්ගේ සහ පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව අතර සමතුලිතතාවයක් රඳවා ගැනීම සඳහාය. ගොවියා ආරක්ෂා කරන අතරතුර පාරිභෝගිකයාත් ආරක්ෂා කළ යුතුය. ඒ නිසා අවශ්‍ය වේලාවට සහල් ආනයනය අපි සිදු කරනවා.
රටේ සහල් හිඟයක් කිසිසේත්ම ඇතිවෙන්නෙ නැහැ. මතක තියාගෙන සිටින්න, සිංහල අවුරුදු සමයට පෙර විපක්ෂය කියා සිටියේ මේ අවුරුද්දේ කිරිබත් කන්න සහල් නෑ කියලා.
ඒවා වගේ බිය ඇති කරන ප්‍රකාශ ජනතාව හමුවේ කළා. නමුත් සැබෑවටම විශාල සහල් හිඟයක් මතුවුණේ නෑ. අදත් කෙනෙක් කියනවානම් සහල් හිඟයක් තියෙනවා කියලා, අපි පවසන්නෙ එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවයි.”
ඇමති ලාල්කාන්ත මෙම අදහස් පළ කළේ ඊයේ (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
