පොලිස් ප්‍රහාරයකින් පාසල් සිසුවෙක් රෝහලේ. - සිසුවාගේ කොන්දත් පාගයි.
පයාගල පොලීසියේ රථවාහන අංශ නිලධාරීන් අමානුෂික ලෙස පහරදුන් බව පවසමින් 16 හැවිරිදි පාසල් සිසුවෙකු රෝහල්ගත කර ඇති බව කළුතර නාගොඩ ශික්ෂණ රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළා.
එලෙස රෝහල්ගත කර ඇත්තේ පයාගල මලේගොඩ ප්‍රදේශයේ පදිංචි තරුෂ ජිනාල් නමැති පාසල් සිසුවෙක්.
ඔහු ඊයේ (07) පස්වරුවේ පියාට අයත් යතුරුපැදියෙන් මිතුරෙකු සමඟ අසල ඇති වෙළෙඳසැලකට ගොස් ඇත.
එහිදී මිතුරා ආරක්ෂිත හිස්වැසුමක් පැළඳ නොසිටි බව වාර්තා වන්නේ.
ඒ බව දුටු පයාගල පොලීසියේ රථවාහන අංශයේ ජංගම රාජකාරීවල නිරතවී සිටි නිලධාරින් දෙදෙනකු ඔවුන් පසුපස හඹා ගොස් යතුරුපැදිය නතර කර බැනවැදී ඇති අතර ඉන් බියට පත්වී ඇති පාසල් සිසුවා යතුරුපැදිය ක්‍රියාත්මක කර අසල ඥාති නිවසක් කරා එය ධාවනය කර ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව නැවත ඔවුන් ලුහුබැඳ පැමිණි පොලිස් නිලධාරීන් යතුරුපැදියේ පසුපැදිකරු ලෙස සිටි සිසුවාට පහරක් එල්ලකර ඇති අතර පසුව යතුරුපැදිය ධාවනය කළ සිසුවාට කිහිප වරක් පහරදී ඇති බවයි වාර්තා වන්නේ.
පහරකෑමෙන් බිම ඇදවැටී ඇති සිසුවාව මෙලෙස රෝහල්ගත කර ඇති අතර අදාළ සිසුවා ප්‍රකාශ කර ඇත්තේ බිම ඇද වැටුණු පසු පොලිස් නිලධාරියෙක් තමාගේ කොන්ද ප්‍රදේශය පෑගූ බවයි.
පහරකෑමට ලක්වූ පාසල් සිසුවා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහු 5 වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පහරකෑ සිසුවාගේ පියා වන ඩබ්ලිව් .ඒ. අසංක විසින් මේ සම්බන්ධයෙන් කළුතර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ඔහු පවසන්නේ තමාගේ පුතාට මෙන් තවත් දරුවෙකුට මෙවන් අමානුෂික පහරදීමක් සිදුනොකිරීමට කටයුතු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවය.
සිද්ධියට සම්බන්ධ පොලිස් සැරයන්වරයාට මේ වනවිට ස්ථාන මාරුවක් ලබාදී ඇති බවද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවද පොලීසියේ උසස් නිලධාරියෙකු පැවසීය.

