හෝමුස් සම්බන්ධයෙන් ඉරානයෙන් ප්‍රකාශයක් - ගාස්තු අයකිරීම ගැන දැනුම්දීමක්
හෝමුස් සමුද්‍රසන්ධිය ඔස්සේ ගමන් කරනු ලබන ජාත්‍යන්තර නෞකාවලින් විශේෂිත සංක්‍රමණික ගාස්තු අය නොකරන නමුත්, එම කලාපය ඔස්සේ යාත්‍රා කිරීමේදී ලබාදෙන සමුද්‍රීය සේවාවන්ට අදාළ මුදල පමණක් අය කරගන්නා බව ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගේයි මහතා පවසා තිබේ.
මේ අතර, ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ ඇතිකරගන්නා කිසිදු එකඟතාවක් හෝ ගිවිසුමක් සම්බන්ධයෙන් පූර්ණ විශ්වාසයක් තැබිය නොහැකි බව පෙන්වා දෙන ඔහු, එවැනි රාජ්‍යතාන්ත්‍රික ගිවිසුමක් ඇතිකරගැනීමට බාධා පැමිණවීම සඳහා ඊශ්‍රායලය විසින් ගත හැකි සෑම පියවරක්ම ගනු ඇති බවට ද වැඩිදුරටත් චෝදනා කළේය.
න්‍යෂ්ටික වැඩසටහන ඇතුළු කලාපීය මාතෘකා රැසක් පිළිබඳව දෙපාර්ශ්වය අතර නව අවබෝධතා ගිවිසුමක් ඇතිකරගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂ අවධානයක් යොමුව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, වත්මන් භූදේශපාලනික තත්ත්වය හමුවේ සටන්විරාමය තවත් දින 60කින් දීර්ඝ කිරීම, හෝමුස් සමුද්‍රසන්ධිය සම්පූර්ණයෙන්ම විවෘත කිරීම මෙන්ම ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධව තවදුරටත් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කිරීම කෙරෙහි ද අවධානය යොමුව ඇත.
ඉදිරි දින 30ක කාලය තුළ හෝමුස් සමුද්‍රසන්ධියේ නාවික කටයුතු සම්පූර්ණයෙන්ම යථාවත් කිරීම මෙමඟින් අපේක්ෂා කෙරෙන අතර, ඉරානයට කිසිසේත්ම න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කිරීමට ඉඩ නොතබන බව ද මෙමඟින් අවධාරණය කෙරෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත්, ඉරානයට පනවා ඇති ආර්ථික සම්බාධක ලිහිල් කිරීම, ජාත්‍යන්තරව අවහිර කර ඇති ඉරාන වත්කම් නිදහස් කිරීම සහ ඉරානය තුළ දැනට බලගන්වා ඇති යුරේනියම් සංචිත අත්හැරීම වැනි සංකීර්ණ කාරණා සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට තවත් සැලකිය යුතු කාලයක් ගතවනු ඇත.
එමෙන්ම මැදපෙරදිග කලාපය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්වන තෙක් අමෙරිකානු සන්නද්ධ බලඇණි එම කලාපය තුළ සක්‍රියව රඳවා තැබීමට පියවර ගන්නා බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.