සිරගතව සිටින මේ අය අධිකරණයට රැගෙන යාම තාවකාලිකව අත්හිටුවයි
අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් නඩු කටයුතු සඳහා බාහිර අධිකරණ වෙත රැගෙන යාම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේ, එහි රඳවා සිටින රැඳවියන් කිහිපදෙනෙකු අතර හදිසි රෝගී තත්ත්වයක් හටගෙන ඇති බවයි.
බන්ධනාගාර පරිශ්‍රය තුළ මෙම රෝගී තත්ත්වය තවදුරටත් පැතිර යාම වැළැක්වීම සහ එය පාලනය කිරීමේ මූලික ආරක්ෂිත පියවරක් ලෙස මෙම තීරණය ගත් බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත්, රැඳවියන්ගේ නඩු කටයුතු ප්‍රමාදයකින් තොරව පවත්වාගෙන යාම සඳහා විකල්ප ක්‍රමවේදයක් ලෙස අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට අදාළ නඩු විභාගයන් ඔන්ලයින් (Online) තාක්ෂණය ඔස්සේ සෘජුවම සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇත.
මීට අමතරව, ආරක්ෂිත පියවරක් ලෙස දිවයිනේ වෙනත් කිසිදු බන්ධනාගාරයක සිට අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත අලුතින් රැඳවියන් රැගෙන ඒම ද වහාම ක්‍රියාත්මක වන පරිදි සම්පූර්ණයෙන්ම නවතා දමා තිබේ.