වාහන මිල ඉහළට? - මහ බැංකුවෙන් නිවේදනයක්
වාහන ආනයනය සඳහා පනවා ඇති අධිභාරය තාවකාලිකව ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගෙන ඇති තීරණය සහ වත්මන් විනිමය අනුපාතවල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ඉදිරියේදී වාහන මිල ගණන් තාවකාලිකව ඉහළ යා හැකි බව මහ බැංකුව නිවේදනය කරයි.
මෙම තත්ත්වයත් සමඟ වාහන සඳහා ලබාදෙන උපරිම ලීසිං පහසුකම් (Loan to Value Ratio) මෙතෙක් පැවති 50% සීමාවේ සිට එකවරම 40% දක්වා අඩු කිරීමට ද පියවර ගෙන තිබේ.
මහ බැංකුවේ මෙම ක්ෂණික ප්‍රතිපත්තිමය වෙනස්කම් හේතුවෙන් මෝටර් රථ ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව වාහන ආනයනකරුවෝ පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ උපසභාපති අරෝෂ රොද්‍රිගෝ මහතා ප්‍රකාශ කළේ, පවතින ආර්ථික තත්ත්වය හමුවේ මහ බැංකුව මෙවැනි සීමා පැනවීම් සිදු කළ ද, ලීසිං අනුපාත අඩු කිරීම හරහා පාරිභෝගිකයාට වාහනයක් මිලදී ගැනීමට ඇති මූල්‍ය හැකියාව සෘජුවම අඩාල වන බවයි.
එමඟින් වාහන ආනයනය ඉබේම සීමා වන බව ද ඔහු සඳහන් කළේය. එමෙන්ම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා මෙහිදී දැඩි ලෙස අවධාරණය කළේ, පූර්ව දැනුම්දීමකින් තොරව ලීසිං සීමාවන් 40% දක්වා පහත හෙළීම හේතුවෙන් දැනට ගෙන්වා ඇති වාහන විකුණා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි.
මහ බැංකු අධිපතිවරයා ඇතුළු බලධාරීන් මෙවැනි තීරණ ගැනීමේදී, අවම වශයෙන් මේ වන විටත් මෙරටට ගෙන්වා ඇති හෝ ණයවර ලිපි (LC) විවෘත කර ඇති වාහන සඳහා පැරණි ක්‍රමවේදය යටතේ සහනයක් ලබා දීමට කටයුතු කළ යුතු බව ද සභාපතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය