දිය පහරට ගසාගෙන ගිය දියණිය බේරාගෙන විදුහල්පති නොයෙන ගමන් යයි
අධ්‍යාපන චාරිකාවක පැමිණි සිසුවියකගේ ජීවිතය බේරා ගැනීමට යාමේදී බඩල්කුඹුර ප්‍රදේශයේ විදුහලක විදුහල්පතිවරයෙකු කිරින්ද වෙරළ තීරයේදී මුහුදේ ගිලී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇතැයි කිරින්ද පොලීසිය පවසයි.
චාරිකාවට සහභාගී වූ එම විදුහලේ සිසුන් සහ ගුරුවරුන් පිරිසක් වෙරළේ නාමින් සිටියදී, එක් සිසුවියක ක්ෂණිකව පැමිණි සැඩ ජල පහරකට හසුව මුහුද දෙසට ගසාගෙන ගොස් තිබේ.
එය දුටු විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මක වී සිසුවිය බේරාගැනීමේ අරමුණින් මුහුදට පැන පිහිනා ගොස් ඇති අතර, එහිදී ඇති වූ දියවැැලකට හසුවීමෙන් දෙදෙනාම මුහුදේ ගිලී ඇති බව පොලීසිය සඳහන් කළේය.
අනතුර සිදුවූ වහාම වෙරළ තීරයේ සිටි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි වෙහෙසක් ගෙන විදුහල්පතිවරයා සහ සිසුවිය මුහුදෙන් ගොඩට ගෙන තිබේ.
පසුව සවස 5.00 ට පමණ ඔවුන් දෙදෙනා හදිසි ප්‍රතිකාර සඳහා දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර, රෝහලට ඇතුළත් කරන විටත් විදුහල්පතිවරයා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කළේය. ජල පහරට හසු වූ සිසුවිය දැනට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, කිරින්ද පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.