වාහන ආනයනකරුවන්ගෙන් නරක ආරංචියක් - මහ බැංකුවේ තීරණයෙන් මේ සියල්ල පහළ වැටෙන ලකුණු [UPDATE]
මෝටර් රථ මිලදී ගැනීමේදී ලබා දෙන ණය පහසුකම්වල සිදුකර ඇති සංශෝධනයන් හමුවේ වාහන ආනයනයේ සහ අලෙවියේ පහතයෑමක් සිදුවිය හැකි බව වාහන ආනයනකරුවන් ප්‍රකාශ කරයි.
එසේම ඔවුන් පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය හමුවේ වාහන මිල ඉහළ යාමේ අවදානමක් ද පවතින බවයි.
අද (25) දින සිට මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය සුරැකීම සහ අවදානම් කළමනාකරණය කිරීමේ අරමුණින් මෙසේ මෝටර් රථ සඳහා ලබාදෙන ණය සීමාවන් දැඩි කිරීමට මහ බැංකුව පියවර ගෙන ඇත.
ඒ අනුව මහ බැංකුව නිවේදනය කර තිබුණේ මෙරට ලියාපදිංචිය සිදුකිරීමෙන් පසුව වසරකට වඩා වැඩි කාලයක් භාවිත කළ වාහන සඳහා ලබාදුන් ණය පහසුකම, නව සංශෝධනය අනුව 60% ක් දක්වා අඩු කර ඇති බවත්, අති නවීන වාහන සහ මෙරට ලියාපදිංචිය සිදුවීමෙන් පසු මෙරට තුළ වසරකට වඩා අඩු කාලයක් භාවිත කළ වාහන සඳහා ලබාදෙන ලීසීං පහසුකම ද අද සිට සීමා කරන බවත් ය.
එබැවින් ලොරි රථ ඇතුළු වාණිජ වාහන සදහා මීට පෙර ලබාදී තිබූ 70%ක ණය පහසුකම නව සංශෝධනය අනුව සියයට 60% ක් තෙක් අඩු කර ඇත.
මහ බැංකුව ප‍්‍රකාශ කළේ මෝටර් රථ, එස්.යූ වී රථ, වෑන්, ත‍්‍රීරෝද රථ සහ අනෙකුත් වාහන සදහා මීට පෙර 50% ක්ව පැවති ණය පහසුකම 40% දක්වා අඩුකර ඇති බවයි.
එමෙන්ම ඉකුත් වසරේ නොවැම්බර් මස 08 වනදා සිට ඊයේ දිනය දක්වා ණයවර ලිපි විවෘත කර, ලියාපදිංචි නොකළ වාහන සඳහා වූ ණය පහසුකම ද සංශෝධනය කර ඇත.
වාණිජ වාහන සඳහා 70%ක් සහ මෝටර් රථ, එස්.යූ වී රථ,වෑන්, ත්‍රී රෝද රථ මෙන්ම අනෙකුත් වාහන සඳහා 50%ක් වශයෙන් ලබාදුන් ණය පහසුකම් සංශෝධනය කර තිබෙන අතර ඉකුත් වසරේ ජූලි මස 18 වනදා සිට නොවැම්බර් මස 08 වනදාට පෙර ණයවර ලිපි විවෘත කර, ලියාපදිංචි නොකළ වාහන සඳහා වූ ණය පහසුකම ද සංශෝධනය කර ඇති බව වාර්තා වේ.
තවද වාණිජ වාහන සඳහා 80%ක්, මෝටර් රථ, එස්.යූ වී රථ සහ වෑන් සඳහා 60%ක්, ත්‍රිරෝද රථ සඳහා 50%ක් සහ අනෙකුත් වාහන සඳහා 70%ක් වශයෙන් ලබාදුන් ණය පහසුකම් සංශෝධනය කර ඇත.
එසේම ඉකුත් වසරේ ජූලි මස 18 වනදාට පෙර ණයවර ලිපි විවෘත කර, ලියාපදිංචි නොකළ වාහන සඳහා වූ ණය පහසුකම ද සංශෝධනය ලක් කර ඇති අතර, ඒ අනුව වාණිජ වාහන සඳහා වූ ණය පහසුකම සියයට 90ක් වශයෙන් සංශෝධනය වේ.
ඊට අමතරව මෝටර් රථ, එස්.යූ වී රථ සහ වෑන් සඳහා 50%ක්, ත්‍රිරෝද රථ සඳහා ණය පහසුකම සංශෝධනය කර ඇත්තේ 25%ක්, සැහැල්ලූ ට්‍රක් රථ සඳහා 90%ක් සහ අනෙකුත් වාහන සඳහා 70%ක් ලෙස ලබාදුන් ණය පහසුකම් සංශෝධනය කර ඇත.
කෙසේ වුවද මෙම කාණ්ඩවලට අයත් විද්‍යුත් වාහන සඳහා වූ ණය පහසුකම සංශෝධනය වී ඇත්තේ 90%ක් වශයෙන්. එසේම දෙමුහුන් හෙවත් හයිබ්‍රිඩ් වර්ගයට අයත් එස්.යූ වී රථ, වෑන් සහ මෝටර් රථ සඳහා ලබාදුන් ණය පහසුකම 50% ක් වශයෙන් සංශෝධනය කර ඇත.