18ත් 59ත් අතර සිටින රජයේ විශ්‍රාම වැටුප් හිමිකම් නොලබන පුද්ගලයින්ට විශේෂ නිවේදනයක්
වයස අවුරුදු 18ත් 59ත් අතර පසුවන රජයේ විශ්‍රාම වැටුප් හිමිකම් නොලබන පුද්ගලයින් වෙනුවෙන් සුරැකුම විශ්‍රාම වැටුප් ක්‍රමය තවදුරටත් විවෘතව පවතින බව ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ, සාමාජිකයාගේ අවශ්‍යතාව සහ දායක මුදල් ගෙවීමේ හැකියාව මත තමන්ට රිසි විශ්‍රාම වැටුප් ප්‍රමාණයක් තීරණය කරගැනීමට හැකි බවයි.
එම විශ්‍රාම සැලසුම් යටතේ සුවිශේෂි ප්රතිලාභ රැසක් හිමිවනු ඇති බව සඳහන්. මේ අතර ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය සඳහන් කළේ වයස අවුරුදු 60 සිට ජීවිතාන්තය දක්වා ගිවිසගත් රුපියල් 50,000ක මාසික විශ්‍රාම වැටුපක් හිමිවන බවයි.
එමෙන්ම වාරික ගෙවීම අතපසු වුවද ගිණුමේ ශේෂයට ගැලපූ විශ්‍රාම වැටුපක් හිමි වන බව සඳහන්.
විශ්‍රාමිකයෙකු ලෙස සිදුවන අභාවයකදී, කාලත්‍රයාට/ යැපෙන්නාට සමාජිකයාගේ වයස අවුරුදු 80 වන තෙක් විශ්‍රාම වැටුප අඛණ්ඩව හිමි වනු ඇති බව ද එම නිවේදනයේ දැක්වේ.
තවද විශ්‍රාම වැටුප් ලැබීමට පෙර සිදු වන අභාවයකදී අවමංගල්‍ය වියදම් ආවරණයට රුපියල් 100,000ක් සමගින් කාලත්‍රයාට විශ්‍රාම වැටුප් හිමිකම හෝ ගෙවූ මුදල ආයෝජන ආදායම සමඟ ලබාගැනීමේ හැකියාව ඇති අතර හදිසි අනතුරක හෝ රෝගයක ප්‍රතිඵලයක් වශයෙන් අබලතාවයට පත්වන සාමාජිකයින්ට රුපියල් 500,000ක පාරිතෝෂිකයක් සමඟ අබලතාවය ඇති වූ දා සිට ජීවිතාන්තය දක්වාම එකඟ වූ විශ්‍රාම වැටුප හිමි වන බව වාර්තා වේ.
එමෙන්ම එවැනි අවස්ථාවකදී සාමාජිකයා ඉදිරි වාරික ගෙවීමෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කරයි.
මේ අතර ස්ථිර අර්ධ අබලතාවයකදී රුපියල් 100,000ක පාරිතෝෂිකයක් ලබා දෙන බව ද ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය සඳහන් කර ඇත.
එමෙන්ම ප්‍රතිලාභියාගේ දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු හෝ ඕනෑම අවශ්‍යතාවක් සඳහා මූල්‍ය සහයක් ලබාගත හැකි බව ද සඳහන්.
එබැවින් වයස අවුරුදු 18ත් 29ත් අතර කාලය තුළ මාසික, වාර්ෂිකව හෝ එකවර මුදලක් වශයෙන් අවශ්‍යතාවය පරිදි ප්රතිලාභ අයදුම් කළ හැක.
අඳාළ නිවේදනයේ සුරැකුම විශ්‍රාම සැලසුම සඳහා වයස අවුරුදු 20 සිට 45 දක්වා කාලය තුළ මුදල් ගෙවීම සිදු කළ හැකි බව වාර්තා වේ.
එම වාරික ගෙවීම් අවස්ථාවන්ට අමතරව කාර්තුමය, වාර්ෂිකව සහ වසර දෙක සිට හතර දක්වා කෙටි කාලසීමාවන් තුළ නම්‍යශිලී ආකාරයට වාරික ගෙවීම් ක්‍රම තොරාගැනීමේ හැකියාව ද පවතින බව ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් පවසයි.
එමෙන්ම මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 011 2 88 60 88 යන අංකයෙන් ද 077 1 44 30 44 යන වට්ස්ඇප් අංකය මඟින් ද ලබාගත හැකි බව දන්වයි.

