ඔමික්‍රොන් නිසා යළි රට වැසෙයි ද ? - දරුවන්ගේ ජීවිතත් අනතුරේ

trending news omicron gagana news today news Sri lanka sinhala news
By krishani Jan 24, 2022 08:31 AM GMT
krishani

krishani

Report

රට යළි සාමාන්‍යකරණයට ලක් වීමත් සමග කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ යම්කිසි වර්ධනයක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සහ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේකම් චන්න ද සිල්වා පවසනවා.

එදිනෙදා ජීවිත‍යේ සෞඛ්‍යමය ලිහිල්භාවය ජනතාවට ලැබීමත් සමග බොහෝ දෙනා දීර්ඝ නිවාඩු ගත කිරීමට සහ සංචරණ කටයුතු වැඩි වශයෙන් සිදු කිරීමට යොමු වීම හේතුවෙන් මෙම අර්බුදකාරී තත්ත්වය නිර්මාණය වී ඇති බවයි විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.

මෙම තත්ත්වය මත රට පුරා ඉතා ශීඝ්‍රයෙන් ඔමික්‍රොන් වෛරස ප්‍රභේදය ව්‍යාප්ත වන අතර, දෛනිකව විශාල වශයෙන් නව ප්‍රභේදය ආසාදනය වූවන් විවිධ ප්‍රදේශවලින් හමුව ඇති බව වෛද්‍යවරයා කියා සිටිනවා.

මෙවන් තත්ත්වයක් ඇතිවීමට මූලිකම හේතුව වන්නේ රට සාමාන්‍යකරණය වීම තුළින් ජනතාව සැහැල්ලුවෙන් යුතුව ගමන් බිමන් අනවශ්‍ය පරිදි සිදු කිරීම බව ද හෙතෙම වැඩිදුරට්ත් පෙන්වා දෙනවා.

මෙවන් පසුබිමක් තවදුරටත් පවත්වාගෙන යන්නේ නම්, අනිවාර්යයෙන්ම ඔමික්‍රොන් වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව තවත් වැඩිවිය හැකි බවත්, එමගින් එම ප්‍රභේදය රටේ ව්‍යාප්ත වන ප්‍රධානතම වෛරස ප්‍රභේදය බවට පත්විය හැකි බවත් විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා වැඩිදුරටත් කියා සිටියා.

මෙහි භයානක තත්ත්වය පැහැදිලි කළ විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේ, මෙම වෛරසය මගින් සංකූලතා සහිත රෝගීන්ගේ සංඛ්‍යාවේ ඉහළ යාමක් පෙන්නුම් කළ හැකි බවයි.

එතුළින් සෞඛ්‍ය පද්ධතියට විශාල වශයෙන් බලපෑමක් එල්ල වන අතර, මේ වනවිට දරුවන් අතර ද මෙම රෝගය වැඩි වශයෙන් පැතිර යාමේ අවකාශයක් ද වර්තා වී ඇති බව ද හෙතෙම සඳහන් කළා.

මේ අතර වෛරසය ආසාදිතව රට තුළ විශාල වශයෙන් දරුවන් රෝහල්ගත කරන තත්ත්වයකට පත් ව ඇති අතර, මෙම වෛරසයට අමතරව වෙනත් රෝගවල ද වර්ධනයක් වාර්තා වන බවයි වෛද්‍ය චන්න ද සිල්වා කියා සිටියේ.

ඩෙංගු රෝගයේ ද අයහපත් ලෙසින් ඉහළ යාමක් මේ වනවිට වාර්තා වී ඇති බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා කියා සිටියේ, පෙර දිනකට වාර්තා වූ කොවිඩ් ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාවට වඩා අද වනවිට එය සංඛ්‍යාත්මකව ඉහළ ගොස් ඇති බවයි.

එනම් පෙර දිනකට දරුවන් දෙදෙනකු හෝ තිදෙනකු වෛරසය ආසාදිතව වාර්තා වුව ද, අද වන විට දිනකට එම සංඛ්‍යාව 10-15 ත් අතරක අගයක් ගෙන ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළා.

කෙසේවෙතත් මෙවන් සෞඛ්‍යමය අර්බුද තත්ත්වයක් තුළ රට සාමාන්‍යකරණය කර එලෙසින්ම පවත්වාගෙන යාමට නම් නියත වශයෙන්ම සියලු ම දෙනා දරුවන් ඇතුළුව පූර්ණ එන්නත්කරණයට යොමු වීමේ දැඩි අවශ්‍යතාව ද විශේෂඥ වෛද්‍යවරයා විසින් අවධාරණය කරනවා.

ඉදිරි සති දෙක තුළ රෝගීන්ගේ වර්ධනයක් බලාපොරොත්තු විය හැකි අතර, එය තවදුරටත් වර්ධනය වුවහොත් රට වසා දැමීම වැනි තීරණාත්මක සාධක කෙරෙහි ද අවධානයට යළි භාජනය විය හැකි මාතෘකා ද වීමේ ඉඩ ප්‍රවණතාව ගැන ද මෙහිදී විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළා.

කෙසේවෙතත්, රට පුරා එන්නත්කරණයෙහි ඇති අවදානම පිළිබඳ දුර්මත පළ වන බැවින් බොහෝ දෙනා එන්නත්කරණ ක්‍රියාවලියට යොමු නොවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන අතර, එම තත්ත්වය ඉදිරියේදී පැවතියහොත් රට දැඩි අර්බුදයකට මුහුණ දිය හැකි බවත් විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා විසින් ජනතාවට අනතුරු ඇඟවීමක් සිදු කරනු ලබනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now