පාසල් පවත්වන දින අඩු කරන්න:කාර්යාල වේලාවන් වෙනස් කරන්න... - තෙල් අර්බුදයෙන් මිදෙන්න රජයට ලැබුණු යෝජනා මෙන්න

sri lanka Fuel proposal gagana news sri lanka sinhala news today trending news
By krishani Jan 24, 2022 04:45 AM GMT
krishani

krishani

Report

ඇතිව තිබෙන බරපතල ඉන්ධන අර්බුදය හමුවේ, ඉන්ධන භාවිතය අඩු කර ගැනීම සඳහා ක්‍රියාත්මක කළ යුතු හදිසි යෝජනාවලියක් බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා විසින් රජයට ඉදිරිපත් කර තිබෙනවා.

පාසල් සතියකට එක් දිනක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වන ලෙසත් ,වාහන තදබදය අඩු කර ගැනීම සඳහා කාර්යාල ඇරඹීම විවිධ වේලාවන්ට අනුව සිදුකරන ලෙසත් ඇමතිවරයා රජයට යෝජනා කර තිබෙනවා.

එමෙන්ම ඉන්ධන මිල සූත්‍රය වහාම කරන ලෙස යෝජනා කර ඇති ඇමැතිවරයා කොළඹට එන වාහන සීමා කළ යුතු බවට ද යෝජනා කරනවා.

රාජ්‍ය ආයතනවල රැස්වීම් ,සාකච්ඡා, සම්මන්ත්‍රණවලට නිලධාරීන් කැඳවීම සීමා කරන ලෙසත් , ප්‍රාදේශීය ලේකම්වරුන් ආදීන් කොළඹට කැඳවීම සීමා කරන ලෙසත් යෝජනා කර ඇති ගම්මන්පිල මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ රැස්වීම් පවත්වන ලෙස රාජ්‍ය ආයතන වලට නියම කරන්නැයිද ඉල්ලීමක් කර තිබෙන බවයි සඳහන් වන්නේ.

මේ අතර, වාහන තදබදය අඩු කිරීමට වහා පියවර ගත යුතු යැයි ද,කර්මාන්තවලට අවශ්‍ය බලශක්තිය පුනර්ජනනීය බලශක්තිය ඔස්සේ ලබා ගැනීමට කර්මාන්තකරුවන් දිරිගන්වන ලෙසද ඇමතිවරයා ඉල්ලා සිටිනවා.

වාණිජ බැංකුවලට ලැබෙන විදේශ ප්‍රේෂණවලින් තුනෙන් එකක් මහබැංකුවට ගෙන, ඖෂධ ,වෛද්‍ය උපකරණ හා ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීම සඳහා රාජ්‍ය ආයතන වලට ලබාදෙන ලෙසද ඇමතිවරයා ඉල්ලා තිබෙන බවද සඳහන්.

ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා තෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ දැමුවත්, ඉල්ලුම අඛණ්ඩව ඉහළ ගොස් ඇතැයි පෙන්වා දී ඇති ඇමැතිවරයා විනෝද ගමන් ,නෑදෑයන් හමුවීම්, විනෝද චාරිකා ,ප්‍රියසාද ආදිය සඳහා ගමන් බිමන් වැඩිවීම ද ඉන්ධන භාවිතය වැඩි වීමට හේතු වී ඇති බවද පෙන්වා දෙනවා.

මේ අතර,කොවිඩ් වසංගතය බෝවිම වැළැක්වීම සඳහා පොදු ප්‍රවාහන සේවා වෙනුවට ,පෞද්ගලික වාහන භාවිතය වැඩිවීම ද ගෑස් හිඟය හේතුවෙන් භුමිතෙල් ලිප් භාවිතය ඉහළ යාම ද ඉන්ධන භාවිතය ඉහළ යාමට බලපා ඇතැයි ඇමැතිවරයා පෙන්වා වැඩිදුරටත් සඳහන් කරනවා.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල මේ වන විට ඉහළ යමින් පවතින බවත්, දෙසැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් 74ක් ලෙස පැවැති බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඩොලර් 86 ක් දක්වා ඉහළ ගොස් ඇති බව පෙන්වා දී ඇමතිවරයා ඉන්ධන ආනයනය සඳහා මසකට ඩොලර් මිලියන 400 ක් වැය කරන්නට සිදුවන බවද පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now