පුදුම හිතෙන කිසිවෙකුට කළ නොහැකි,වසර විසිහතක්ම නාගයන් සමග ජීවත්වෙන දරු පවුලක් ! නිවසේ මුල් අයිතිකරු නාගයෙක් වෙලායැයි ද මතයක් !
වසර විසි හතක් පුරාවට නාගයින් සමග ජීවත්වෙන දරු පවුලක් ගාල්ල, මැදකීඹිය, මාපලබැද්ද ගම්මානයේ වෙසෙන බව වාර්තා වෙනවා.
මෙම දරු පවුල වසර සීයක් තරම් පැරණි ගලින් නිර්මාණය කරන ලද නිවසක මෑතක් වන තුරුම දිවි ගෙවා ඇත. ටික කලක් පාළුවට ගොස් තිබූ එම නිවසට රංජිත් ජයලත් , ජානකී උයන්වත්ත පැමිණ ඇත්තේ ඔවුන් දෙදෙනා යුග දිවියට එළැඹීමෙන් පසු මීට වසර තිහකට පමණ පෙර දී බවත් ඒ වන විට පාළුවට ගොස් තිබූ ඒ නිවසේ ගේ මැද සාලයේ වේයන් විසින් කුඩාවට තුඹසක් බැඳ තිබී අතර එම තුඹස කඩා ඉවත් කිරීමට ඔවුන් දේපළ මේ දක්වාම කටයුතු කර නොමැති බවද ඔවුන් පවසනවා.
මෙම නිවසට මීට වසර 27කට පමණ පෙර නාගයකු සහ සැපින්නක පැමිණ ඇත. එම නාගයා සහ සැපින්න අදටත් එම තුඹස තුළ ජීවත්වන බවත් එම තුඹස අඩි අටක් තරම් උසට නිර්මාණය වී පවතින අතර එය අඩි පහක් තරම් පළලින් යුක්ත බවද රංජිත් ජයලත් පැවසීය.
තමන්ගෙන් එම සතුන්ටත්, එම සතුන්ගෙන් තමන්ටත් කිසිදු කරදරයක් හෝ හිරිහැරයක් නොවූ බව පවසන ඒ මහතා ඒ නිසා එම සතුන් තවදුරටත් නිවස තුළ ජීවත්වීම තමන්ට ප්‍රශ්නයක් නොවන බවද ඔහු කීය.
මෙම නිවසේ මුල් අයිතිකරු වන්නේ රංජිත් ජයලත්ගේ සීයා වූ දිවංගත සාදිරිස් උයන්වත්තය. ඒ මහතා මිය යාමෙන් පසු නාග ආත්මයක් ලබා මෙම නිවස තුළ ඇති තුඹස තුළ දිවි ගෙවන බව රංජිත් මෙන්ම ජානකී ද දැඩි සේ විශ්වාස කරති.
මෙම තුඹසේ වෙසෙන නාගයා සහ සැපින්න අඩි පහමාරක් පමණ දිගින් යුක්ත වන බවත්, වැඩුණු කෙනකුගේ අත්ගොබයක් තරම් මහතින් යුක්ත වන බවත් ඇය පැවසුවාය.
මෙම නාගයා කළු පැහැයෙන් ද සැපින්න සුදු පැහැයෙන් ද යුක්ත වන බව ද ඇය පවසන්නේ.
මෙම යුවළට දියණියක සහ පුතකු සිටින අතර විසිතුන් හැවිරිදි එම දියණිය සහ විසි හැවිරිදි පුතා උපත ලබන විටත් මේ කියන නාගය සහ සැපින්න මේ නිවස තුළ ඇති තුඹසේ දිවි ගෙවා ඇත. මේ නිසාදෝ උපන්දා සිට එම නිවසේ දිවි ගෙවන ඔවුන් දෙදෙනාට ද නිවසේ සාලය මැද තුඹසක් පිහිටා තිබීමත් ඒ තුළ නාගයකු සහ සැපින්නක ජීවත් වීමත් සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත.
ගෙදර දරුවන් දෙදෙනා පමණක් සිටින අවස්ථාවල තමාට ගමනක් යෑමට අවශ්‍ය වූ විට තම දරුවන් දෙදෙනා හොඳින් බලාගන්නා ලෙස නාගයාට සහ සැපින්නට පවසා යන බවද ජානකී පවසන්නේ .
බොහෝ විට මෙම නාගයා සහ සැපින්න රාත්‍රී කාලයේ නිවස තුළ පිහිටි තුඹසේ ගත කරන බව ද, දිවා කාලයේ වත්ත පිටියේ ඇවිදිමින් කල්ගත කරන බවද ඇය පැවසුවාය.
නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවල නිවස සහ ඉඩම ආරක්ෂා කිරීමේ නිරත වන මෙම නාගයා සහ සැපින්න කිසිවෙකුටවත් ඉඩමට ඇතුළු වීමට ඉඩ නොදෙන බවද පවසනවා.
ජානකීත්, ඇයගේ පුරුෂයාත්, දරුවන් දෙදෙනාත් දිවංගත සාදිරිස් උයන්වත්තගේ නැගණිය වන 78 හැවිරිදි දයාවතී උයන්වත්තත් මෙම නිවසේ දිවි ගෙවති.
ඔවුන් තමන් කලින් ජීවත් වූ වදුරැස්ස ගලින් නිමකර තිබූ නිවස වෙනුවට මෑතක දී නව නිවසක් ඉදි කරගෙන ඇත. ජානකීට අවස්ථා දෙකකදී සැපින්න පෑගී ඇතත් එම අවස්ථා දෙකෙහි දීම සැපින්න ගෙන් ඇයට කරදරයක් වී නොමැත.
මෙම සැපින්න තමන් රාත්‍රී නිදා සිටින විට අවස්ථා කීපයකදීම ඇයගේ කොට්ට අසලට වී සිටි බවද ඇය පැවසුවාය. 78 හැවිරිදි වියෙහි පසුවන දයාවතී උයන්වත්ත මහත්මිය රාත්‍රී නිදා ගත් අවස්ථා කීපයකදී ද මෙම සැපින්න තම ඇඳ මතට විත් නිදන්නට පුරුදුව සිටි බව ඇය පැවසුවාය.
මෙම නාගයාට සහ සැපින්නට නිවැසියන් විසින් ආහාරය පිණිස කිසිවක් ලබා නොදෙන අතර, වත්ත පිටියේ ඇවිද ගොස් සොයා ගන්නා දෙයකින් කුසගිනි නිවා ගනිති. මෙම නිවසේ බල්ලන් දෙදෙනෙකු සහ බළලුන් තිදෙනෙකු ඇතිදැඩි වන අතර කුකුළන් දස දෙනෙකු ද ඇති දැඩි වෙති. මෙම නාගයා සහ සැපින්න ගෙන් මෙම සතුන්ට කිසිම අවස්ථාවක කිසිම අනතුරක් සිදු වී නොමැත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |