කළු ජාතික සේවකයන්ට අසාධාරණයක්? එලෝන් මස්ක්ගේ ටෙස්ලා සමාගමට නඩු

Report

කළු ජාතික සේවකයන්ට වාර්ගික පදනමින් වෙනස්කම් සිදුකළ බවට චෝදනා කරමින් Tesla සමාගමට එරෙහිව කැලිෆෝනියා සිවිල් අයිතිවාසිකම් දෙපාර්තමේන්තුව පවරා ඇති නඩුව අද (21) විභාගයට ගැනීමට නියමිතව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම මාධ්‍ය වාර්තා කරන්නේ, අදාළ නඩුවේ විභාගය කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන අතර, එය ඔක්තෝබර් 30 දක්වා පැවැත්වීමට නියමිත බවයි.

2022 වසරේදී ගොනු කළ මෙම නඩුවෙන් චෝදනා කර ඇත්තේ Tesla සමාගමේ කැලිෆෝනියාවේ Fremont කර්මාන්තශාලාවේ සේවය කළ කළු ජාතික සේවකයන්ට අනෙකුත් සේවකයන්ගෙන් පුළුල් වාර්ගික හිංසනයන්ට මුහුණදීමට සිදුවූ බවයි.

එහිදී වාර්ගික අපහාසාත්මක ප්‍රකාශ සහ බිත්තිවල වාර්ගික අපහාසාත්මක සටහන් ඇතුළු සිදුවීම් පැවති බවත්, ඒවා වැළැක්වීමට හෝ නතර කිරීමට Tesla සමාගම ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බවත් කැලිෆෝනියා සිවිල් අයිතිවාසිකම් දෙපාර්තමේන්තුව චෝදනා කරන බවත් විදෙස් මාධ්‍යයේ සඳහන් වේ.

එමෙන්ම කළු ජාතික සේවකයන්ට අනෙකුත් සේවකයන්ට වඩා අඩු වැටුප් ගෙවීම සහ උසස්වීම් සඳහා ඇති අවස්ථා සීමා කිරීම සම්බන්ධයෙන්ද Tesla සමාගමට චෝදනා එල්ල වී ඇත.

මෙම චෝදනා Tesla සමාගම විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, වාර්ගික වෙනස්කම් කිරීම තම සමාගම කිසිසේත් නොඉවසන බවත්, විෂමාචාරවල නිරත වූ බවට හඳුනාගත් සේවකයන් සේවයෙන් ඉවත් කර ඇති බවත් සමාගම මීට පෙර ප්‍රකාශ කර තිබේ.

මේ අතර, Tesla සමාගමට එරෙහිව කළු ජාතික සේවකයන් විසින් පෞද්ගලික නඩු ගණනාවක්ද ගොනු කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.