විශ්‍රාමික නිලධාරියා අනතුරේ - රාජ්‍ය බැංකුවේ ඇප් එකෙන්ම ලක්ෂ ගාණකට වග කියන අපරාධකරුවන්
ඇල්පිටිය විශේෂ අපරාධ අංශයට, රාජ්‍ය බැංකුවක බද්දෙගම ශාඛාවේ ගනුදෙනුකරුවෙක්ගෙන් රුපියල් 28,69,000 ක මුදලක් විනාඩි 14 ක් තුළදී තිස් වතාවකදී වෙනත් ගිණුම්වලට මාරු කරගෙන ඇතැයි ගිණුම හිමිකරු පැමිණිලි කර ඇත.
ගිණුම් හිමිකරු පවසන්නේ බැංකු ණයක් ලබාගෙන එය තැන්පත් කළ සිය ගිණුමෙන් මෙසේ වංචනික ලෙස ලබා මුදල් ලබාගෙන ඇත්තේ එම බැංකුවේ ඇති ඇප් එක හරහා බවයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැමිණිලිකරුගේ බිරිඳ මෙසේ පවසා ඇත.
"අපට ඉන්න ගෙයක් නැහැ. ඒ නිසා මහත්තයාගේ පෙන්ෂන් එක ඇපයට තියලා අපි ලක්ෂ 44ක ණය කරගත්තා ඒ මුදල් තමයි මේ ගිණුම තැන්පත් කරේ. එයා යුද හමුදාවේ හෙද නිලධාරියෙක් ලෙස සේවය කරලා විශ්‍රාම අරගෙන දැන් කොළඹ වෙනත් රැකියාවක් කරනවා. පසුගිය අගෝස්තු 14 වෙනිදා රාත්‍රී 1.24 සිට 1.38 දක්වා කාලය තුල එක දිගට ලක්ෂය ලක්ෂය බැගින් විසි අට වතාවකදී එයාගේ ගිණුමෙන් අඩු වුණා. කෙටි පණිවුඩවලින් අපි ඒ බව දැක්කා අපිි වහාම ක්ෂණික ඇමතුම් අංශයට කතා කරලා ගිණුම කාඩ් පත අත් හිටුවන්න කිව්වත් එය සිද්ධ වුණේ නැහැ. එදින 1.38 වන විට ලක්ෂය බැගින් 28 වතාවකුයි 50000 සහ 19000 බැගින් අවස්ථා තිහකදී ගිණුම තිබිණ මුදල් ඇදලා. අපි ගිහින් අදාළ බැංකු ශාඛාවට මේ බව කිව්වා. බැංකුවට කරන්න දෙයක් නැහැ කියලා පෙනුනා. ඊළඟට අපි පොලිසියට ගියා මුදල වැඩි නිසා පොලිසියෙන් පැමිණිල්ල බාර ගත්තේ නැහැ.පසුව අපි ඇල්පිටිය විශේෂ අපරාධ විමර්ශන ඒකකයට ගියා ඒ අපේ මුදල් අඩු වෙච්ච ඒ තොරතුරුත් අරගෙන. මේ වෙනකොට ඇල්පිටිය අපරාධ විමර්ශන ඒකකයට අමතරව CCID එකට සහ සර්ට් ආයතනයට පැමිණිලි කරා මාසයක් පමණ කියා තවම කිසිදු විසඳුමක් නැහැ. අපි ඉල්ලන්නේ මේ මුදල් වලට වුණේ මොකක්ද මේක උනේ කොහොමද මේ ගැන අපට සාධාරණය කරලා දෙන්න අදාල වගකිවයුත්තන්ගේන් අපි ඉල්ලා සිටිනවා."