ගෝලීය සම්මුතියට අනුගතව 2026-2028 කාලසීමාව සඳහා ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රියාත්මක කිරීමේ සැලැස්මක්
සුරක්ෂිත, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණය සඳහා වූ ගෝලීය සම්මුතිය (GCM) ක්‍රියාත්මක කිරීමේ 2026–2028 ජාතික සැලැස්ම කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අද දින නිල වශයෙන් එළිදක්වන ලදී.
මෙම අවස්ථාව සඳහා අදාළ රාජ්‍ය අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු, ජාතික GCM ක්‍රියාත්මක කිරීමේ කමිටුවේ සාමාජිකයින්, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංක්‍රමණ පිළිබඳ ජාලයේ සාමාජිකයින්, සිවිල් සංවිධාන, අධ්‍යාපනික හා පර්යේෂණ ක්ෂේත්‍රයේ නියෝජිතයින්, පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් මෙන්ම විදේශගත ශ්‍රමික නියෝජිතයෝ ද එක්ව සිටියහ.
ආරම්භක දේශනය, වැඩසටහන හඳුන්වාදීමේ දේශනය, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරයාගේ අදහස් දැක්වීම සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් මහතාගේ ප්‍රධාන දේශනයෙන් වැඩසටහන සමන්විත විය.
එහිදී 2026–2028 ජාතික GCM ක්‍රියාත්මක කිරීමේ සැලැස්මේ පළමු පිටපත ගරු අමාත්‍යවරයා වෙත නිල වශයෙන් පිළිගන්වන ලදී. මීට අමතරව, මෙම සැලැස්මේ ප්‍රධාන කරුණු සහ උපායමාර්ගික ප්‍රමුඛතාවන් පිළිබඳ පැහැදිලි කිරීමක් සහ "පොරොන්දුවෙන් ක්‍රියාවට: ජාතික GCM සැලැස්ම සාර්ථකව ඉදිරියට ගෙනයාම" යන තේමාව යටතේ සංවාද මණ්ඩපයක් ද පැවැත්විණි. වගකීම්සහගත සංක්‍රමණික කළමනාකරණයක් වෙනුවෙන් දක්වන කැපවීම ඇගයීමට ලක් කරමින් ශ්‍රී ලංකාව 2025 අප්‍රේල් මාසයේදී GCM පෙරමුණුගත් රටක් (Champion Country) ලෙස නම් කරන ලදී.
2022 ආර්ථික අර්බුදයෙන් පසුව ඇති වූ සංක්‍රමණික ප්‍රවණතා සහ කාලීන කලාපීය හා ගෝලීය වෙනස්කම්වලට ගැළපෙන පරිදි ශ්‍රී ලංකාවේ සංක්‍රමණික කළමනාකරණය නිරන්තරයෙන් යාවත්කාලීනව පවත්වාගෙන යාම සඳහා මෙම නව සැලැස්ම සකස් කර ඇත.
සුරක්ෂිත හා විධිමත් සංක්‍රමණික අවස්ථා පුළුල් කිරීම, සංක්‍රමණික පාලනය සහ නීත්‍යානුකූලව රැකියා සඳහා යොමු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම, විදේශගත ශ්‍රමිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල අයිතිවාසිකම් හා සුබසාධනය සුරැකීම, ගෝලීය රැකියා වෙළඳපොළට ගැළපෙන කුසලතා පූර්ණ ශ්‍රමිකයන් බිහිකිරීම මෙන්ම විදේශ ප්‍රේෂණ සහ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ දායකත්වය හරහා ජාතික සංවර්ධනය උපරිම මට්ටමකට ගෙන ඒම කෙරෙහි මෙම සැලැස්ම මගින් ප්‍රමුඛතාව ලබා දී ඇත.
අමාත්‍ය විජිත හේරත් මහතා සිය ප්‍රධාන දේශනයේදී සඳහන් කළේ GCM සම්මුතිය යටතේ ශ්‍රී ලංකාව ලබා දුන් පොරොන්දු ප්‍රායෝගික හා සංවිධානාත්මක ක්‍රියාවලියක් බවට පත්කිරීමේ වැදගත් පියවරක් ලෙස මෙම එළිදැක්වීම හැඳින්විය හැකි බවයි.
"අපගේ මෙම වැඩපිළිවෙලෙහි ප්‍රධාන අවධානය යොමු වන්නේ ජනතාව කෙරෙහිය" යැයි පැවසූ අමාත්‍යවරයා, ජනතාව සූරාකෑමට සහ හිංසනයට ලක්වීමෙන් ආරක්ෂා කරන අතරම, සුරක්ෂිත හා විධිමත් සංක්‍රමණික අවස්ථා පුළුල් කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කළේය.
එමෙන්ම මෙම සැලැස්ම එළිදැක්වීම "සම්පූර්ණ ක්‍රියාවලියේ අවසානය නොව, එය ක්‍රියාත්මක කිරීමේ ආරම්භය පමණක්" බවත්, සැලැස්මේ සාර්ථකත්වය මැනිය හැක්කේ ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ග සහ ඒ ඔස්සේ ජනතාවගේ ජීවිතවලට සිදුවන යහපත් වෙනස අනුව බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.