මල් දුන්නෙන් විද පෙම්වතුන්ට ආශිර්වාද කරන ලංකාවේ එකම දේවාලය ගැන ඔබ නොඇසූ පුදුම හිතෙන කතාව !
අතීතයේ සිට පැවත එන පෙම්වතුන් වෙනුවෙන් වෙන් වූ දෙවොලක් පිළිබඳ තොරතුරක් මාතලේ අඹන්ගඟකෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හෙට්ටියාවත්ත ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
මාතලේ සිට රත්තොට ගම්මඩුව මාර්ගයේ ගමන් කරද්දී අඹන්ගඟ කෝරලේ, හෙට්ටියාවත්ත ප්‍රදේශයේ ප්‍රධාන පාරට මුහුණ ලා මෙම අනංග දෙවොල හමුවෙයි.
ලුණු දේවාලය, රාමන් දේවාලය යන නම්වලින් ද මෙම දේවාලය හඳුන්වයි.
මල් සරා, අනංගයා යනාදී විවිධ නම්වලින් හඳුන්වන අනංග දෙවියන් පිදීම සහ බාරවීම ආදිය මෙහිදී සිදුකෙරෙන බව ගම්වාසීහූ පවසති.
ගම්වාසීන් සඳහන් කළේ, ඉන්දියාවේ සිට වතු වැඩ සඳහා අතීතයේ මෙරටට පැමිණි දමිළ කණ්ඩායම් මෙම දෙවොල තනාගෙන ඇත්තේ ඉන්දියාවේ රාමන් දේවාල භුමියේ පස් මිටක් රැගෙනවිත් බව ය.
එම ගම්මානයේ සිටින එස්. ආර්. සුන්දරලිංගම් සඳහන් කළේ, ප්‍රදේශයේ ජීවත්වන ආදරවන්තයින් එකතු කිරීම සඳහා අනංග දෙවියාගේ බැල්ම ලබා දීමට මෙන් ම මිනිසුන්ගේ ජීවන පැවැත්ම සඳහා ආදරය, ළෙන්ගතුකම් සහ ආශාවන් ඇති කිරීමේ දෙවියන් හැටියට අනංග දෙවියන් අදහන බව ය.
මේ සම්බන්ධයෙන් අතීත කතා, ජනප්‍රවාද රැසක් පවතින අතර ඒ අනුව ඔවුන් සෑම වසරක ම අනංග දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වීම සිදු කරන බව ද ඔහු සඳහන් කළේ ය.
මෙම ස්ථානයට එන තරුණ වියේ පසු වන තරුණ තරුණියෝ වෙන වෙන ම සහ දෙදෙනා එක්ව ම ප්‍රාර්ථනාවන් කරති.
අනංග දෙවියන් හමුවේ තමන්ගේ සිත් ගත් පුද්ගලයා පිළිබඳව සිහි කොට පඬුරක් ගැට ගැසීම සිදුකරන අතර එම සිත් ගත් පෙම්වතාට පෙම්වතිය හිමි කර දෙන ලෙස අනංග දෙවියන්ට සිතින් පවා එම ස්ථානයට පැමිණ බාරවීම සිදුවන බව ගම්වාසීහූ පවසති.
ඒ අනුව, සෑම වසරක ම පෙබරවාරි මාසයේ අනංග දෙවියන් උදෙසා පවත්වන දින දාහතක පුද සත්කාර සහ විවිධ ඇදහිලි රැයක් පහන් වනතුරු පවත්වයි.
පසුව ආදරවන්තයින්ගේ ජීවිත සැපවත් කිරීම සඳහා වූ බාර ඔප්පු කිරීම ද සිදුකරන අතර බාරය ඔප්පු කිරීම සඳහා එම ස්ථානයේ අනංගයා නිරූපණය වන ආකාරයට සැරසුණු කණ්ඩායම් මල් දුන්නෙන් විද පෙම්වතුන්ට ආශිර්වාද කිරීම සිදුවන බව ගම්වාසීහූ සඳහන් කළහ.
පසුව එම ස්ථානයේ අනංගයා විසින් දල්වන ලද ගිනි ගොඩකට ඔවුන්ගේ අරමුණු සඵලවීම් සනිටුහන් කරමින් ලුණු කැට ඉස බාරය ඔප්පු කිරීම සිදුවන බව ගම්වාසීයෙකු වූ සුන්දරලිංගම් මහතා සඳහන් කළේ ය.
එම ස්ථානයේ වෙනත් කිසිදු ඉදිකිරීම් හෝ ස්මාරක නොමැති අතර අනංග දෙවියන් මල් මාල අතැතිව සිටින කුඩා තොරණක්, බෝධියක් සහ ලුණු දල්වන ස්මාරකය පමණක් දැක ගැනීමට හැකි වීම ද විශේෂත්වයකි.
මෙවැනි ස්මාරක සහිත වෙනත් දෙවොලක් මෙරට නොමැති බව ද පෙබරවාරි 11 දින ආරම්භ වන අනංග දෙවියන් පිදීම පෙබරවාරි 28 දින අලුයම පහට අවසන් කරන බව ද ගම්වාසීහු සඳහන් කළෝ ය.
ගම්වාසීන් වැඩිදුරට ත් සදහන් කළේ, එම අවස්ථාවට හැටන්, නුවරඑළිය, බදුල්ල, මාතලේ ආදී දුර බැහැර සිටින තරුණ තරුණියන් තම ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තිය සොයා ගැනීමට බාරවීමට මෙහි පැමිණෙන බව ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |