“එදා නොමිලේ ගියා... අද මගේ වගකීම ඉටු කළා” - වර්ජනය දවසේ ගිය දුම්රිය ගමනට තරුණයෙක් පසුවදා ටිකට් ගනී
දුම්රිය වර්ජනය පැවති දිනවල ටිකට්පත් නිකුත් නොකිරීම හේතුවෙන් නොමිලේ දුම්රියෙන් ගමන් කළ තරුණයෙකු, තමන් ගමන් කළ දුරට අදාළ ගාස්තුව පසුව ගෙවීමට කටයුතු කර තිබේ.
පසුගිය 17 සහ 18 යන දිනවල පැවති දුම්රිය වෘත්තීය සමිති වර්ජනය හේතුවෙන් මගීන්ට ටිකට්පත් නිකුත් කිරීමේ සාමාන්‍ය ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබිණි.
එම තත්ත්වය හමුවේ ජනතාවගේ දෛනික ප්‍රවාහන අවශ්‍යතා සලකා බලමින් මගීන්ට ටිකට්පත් නොමැතිව දුම්රියෙන් ගමන් කිරීමට අවස්ථාව සලසා තිබූ අතර, ඒ හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට සැලකිය යුතු ආදායමක් අහිමි වී තිබේ.
කෙසේ වෙතත්, එලෙස නොමිලේ ගමන් කළ තරුණයෙකු තමන්ට හැකි පරිදි එම මුදල පියවීමට පියවර ගෙන තිබීම සමාජ මාධ්‍ය ඔස්සේ අවධානයට ලක්ව තිබේ.
ඔහු ‘රටවටා දුම්රිය මගීන්ගේ සංගමය’ Facebook සමූහයේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ,
“වර්ජනය පැවති දිනයේ නොමිලේ ගමන් කළා… ඒ නිසා අද ටිකට් පත් දෙකක් ලබා ගත්තා. පුරවැසියෙකු ලෙස මගේ වගකීම ඉටු කළා පමණයි.” යනුවෙනි.
මේ අතර, වර්ජනය පැවති දිනවල ටිකට්පත් ලබාගැනීමට නොහැකි වූ තවත් තරුණයන් පිරිසක්ද පසුව එම ගමන් සඳහා ටිකට් ලබා ගන්න වීඩියෝවන් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණහ.