තමිල්නාඩු මහ ඇමති විජේ වෙත ශ්‍රී ලංකාවේ ධීවර අමාත්‍යවරයාගෙන් හදිසි පණිවිඩයක් - "උතුරේ ධීවරයන්ගේ ජීවනෝපාය රැකදෙන්න,,
ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණ තමිල්නාඩු ධීවරයින් සිදු කරන බව කියන නීති විරෝධී මසුන් ඇල්ලීම සම්බන්ධයෙන්, තමිල්නාඩු මහ ඇමති සී. ජෝසප් විජේ වෙත පණිවිඩයක් යොමු කරමින් ශ්‍රී ලාංකික ධීවරයින්ගේ ජීවනෝපාය ආරක්ෂා කිරීම සඳහා සාධාරණ පියවර ගන්නා ලෙස ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් ඉල්ලා තිබේ.
තමිල්නාඩු මහ ඇමතිවරයා හමුවූ එරට මාධ්‍ය නියෝජිත පිරිසක් හරහා මෙම පණිවිඩය ඔහු වෙත දැනුම් දුන් බව අමාත්‍යවරයා පවසා ඇත.
වසර 30ක යුද සමයේදී උතුරු ප්‍රදේශයේ ශ්‍රී ලාංකික ධීවරයින් දැඩි දුෂ්කරතාවලට මුහුණ දුන් බව සඳහන් කළ අමාත්‍යවරයා, මේ වනවිට ඔවුන් සිය ජීවිත සහ ජීවනෝපායන් යළි ගොඩනඟා ගැනීමට උත්සාහ කරමින් සිටින බව පැවසීය.
එවැනි පසුබිමක ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණ තමිල්නාඩු ධීවරයින් මසුන් ඇල්ලීම හේතුවෙන් ශ්‍රී ලාංකික ධීවරයින්ගේ ජීවනෝපායට බලපෑම් එල්ල වන බවද ඔහු පෙන්වා දුන්නේය. සමාජ සාධාරණත්වය වෙනුවෙන් සිය සිනමා චරිත තුළින් පෙනී සිටි හිටපු නළුවෙකු ලෙස, දැන් මහ ඇමතිවරයා ලෙස ශ්‍රී ලාංකික ධීවරයින් සම්බන්ධයෙන්ද සාධාරණ ක්‍රියාමාර්ග ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
කේරළය සහ ආන්ද්‍ර ප්‍රදේශ් වැනි අනෙකුත් ඉන්දීය ප්‍රාන්තවල මුහුදු සීමාවන් තුළද මෙවැනි ක්‍රියා සිදු කිරීමට ධීවරයින්ට අවස්ථාව නොලැබෙන බව පෙන්වා දුන් ඔහු, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්ද එවැනිම ප්‍රවේශයක් අවශ්‍ය බව පැවසීය.
ගැටලුවට ප්‍රායෝගික විසඳුමක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, ඉදිරියේදී නිලධාරී මට්ටමේ දූත පිරිසක් ඉන්දියාවට යවා සාකච්ඡා පැවැත්වීමටත්, ඉන් අනතුරුව අමාත්‍ය මට්ටමේ සාකච්ඡා පැවැත්වීමටත් අපේක්ෂා කරන බවයි.