'ඩුජුවාන්' සුළි කුණාටුවෙන් ටෝකියෝ නගරය කැළඹෙයි- සිව්දෙනෙකු මරුට, 6ක් අතුරුදන් මිලියන 1.9කට ඉවත් වීමට නියෝග
‘ඩුජුවාන්’ (Dujuan) සුළි කුණාටුව හේතුවෙන් ජපානයේ ටෝකියෝ නගරය ඇතුළු ඒ අවට ප්‍රදේශවලට අධික වර්ෂාවක් සහ දැඩි සුළං තත්ත්වයක් බලපා ඇති අතර, සිව්දෙනෙකු මියගොස් ඇති බව දේශීය වාර්තා පවසයි. කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 50,000කට පමණ විදුලිබලය අහිමි වූ අතර, ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කිරීමට හෝ අත්හිටුවීමට සිදුවිය.
කුණාටුව ජපානයේ නැගෙනහිර වෙරළ තීරයෙන් ඉවතට ගමන් කිරීමත් සමඟ අඟහරුවාදා වන විට බොහෝ ඉවත් කිරීමේ නියෝග ඉවත් කර තිබුණි. සඳුදා කුණාටුවේ බලපෑම ඉහළම මට්ටමට පැමිණි අවස්ථාවේදී බලධාරීන් ජනතාවට “ජීවිතයට ආසන්න තර්ජනයක්” පිළිබඳව අනතුරු අඟවා තිබූ අතර, පුද්ගලයින් මිලියන 1.9කට පමණ ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස දැනුම් දී තිබුණි.
මියගිය පුද්ගලයන් අතර කනගාවා සහ චිබා ප්‍රාන්තවල සිදුවූ නායයෑම්වලට හසුවූ පුද්ගලයන් සිටින බව වාර්තා වේ. තවත් පුද්ගලයින් හයදෙනෙකු අතුරුදන්ව ඇති බව ජපානයේ මහජන විකාශන සේවය වන NHK වාර්තා කළේය.
උත්සව රැසක් අවලංගු කෙරේ ජපානයේ මෙම වසරේ 25 වන සුළි කුණාටුව ලෙස සඳහන් වන ඩුජුවාන්, දින පහක නිවාඩු කාලයක් අතරතුර රටට බලපෑ අතර, එහි බලපෑම හේතුවෙන් විවිධ උත්සව සහ ප්‍රසිද්ධ වැඩසටහන් රැසක් අවලංගු කිරීමට සිදුවිය.
‘Rock in Japan’ සංගීත උළෙලේ සඳුදා පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රසංග අවලංගු කළ අතර, වීඩියෝ ක්‍රීඩා ප්‍රදර්ශනයක් වන ‘Tokyo Game Show’ හි සඳුදා වැඩසටහන්ද අවලංගු කර තිබුණි.
මේ අතර, ජපාන අගමැතිනී සනායි ටකයිචි (Sanae Takaichi) සුළි කුණාටුවෙන් ජීවිත අහිමි වූවන් වෙනුවෙන් X සමාජ මාධ්‍ය ඔස්සේ ශෝකය පළ කළාය.
ඇය සඳහන් කළේ, තත්ත්වය හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා උපරිම සූදානමකින් ප්‍රතිචාර දක්වන ලෙස ප්‍රධාන කැබිනට් ලේකම් ටකෙහාරා සහ අමාත්‍ය හොසොනෝ වෙත උපදෙස් ලබාදුන් බවයි. කුණාටුවෙන් ඇති වූ බලපෑම් මධ්‍යයේ වුවද, ඇය කලින් සැලසුම් කළ පරිදි එක්සත් ජනපද සංචාරය සඳහා පිටත්ව ගොස් තිබේ.
අඟහරුවාදා නිව් යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ඇය දේශනයක් පැවැත්වීමට නියමිත අතර, එහිදී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමටද නියමිත බව වාර්තා වේ. ටෝකියෝවේ දෛනික කටයුතුවලටත් බලපෑම් කුණාටුවේ බලපෑම හේතුවෙන් ටෝකියෝවේ දෛනික ජනජීවිතයටද සැලකිය යුතු බාධා එල්ල විය.
හනෙඩා ගුවන් තොටුපළේ ගුවන් ගමන් පිළිබඳ නවතම තොරතුරු බලාපොරොත්තුවෙන් මගීන් රැඳී සිටින අයුරු දැකගත හැකි වූ අතර, ඇතැම් මගීන් ගුවන් තොටුපළේ බිම වාඩි වී හෝ නිදාගෙන සිටි බව විදෙස් පුවත් වාර්තා කළේය.
වාහනයේ පසුපස මැද ආසනයටත් අමතර ආසන පටි සවි කරගන්න පුළුවන්- නව ආසන පටි නීතිය ගැන ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායකගෙන් පැහැදිලි කිරීමක්
ෂින්ජුකු දුම්රිය ස්ථානය ආසන්නයේදී ද දැඩි සුළං තත්ත්වයට මුහුණ දෙමින් ජනතාව ගමන් කළ අතර, එක් කාන්තාවක් සුළඟට හසුවන තම කුඩය පාලනය කරගැනීමට උත්සාහ කරන අයුරු දැකගත හැකි විය. කනගාවා ප්‍රාන්තයේ 60 හැවිරිදි කාන්තාවක් ඇය පදිංචිව සිටි නිවස නායයෑමකට හසුවීමෙන් පසු පස් යට සිරවී ඇති බවට විශ්වාස කෙරේ.
එමෙන්ම තවත් සිදුවීමකදී පුද්ගලයෙකු බර යන්ත්‍රෝපකරණ කිහිපයක් සමඟ උණ පඳුරකට ඇද වැටී ඇති අතර, ඔහු රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බව දේශීය වාර්තා පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.
දේශගුණික විපර්යාස සහ සුළි කුණාටු ජපානය දරුණු සුළි කුණාටු සහ අධික වර්ෂාපතනයේ බලපෑමට වැඩි වශයෙන් නිරාවරණය විය හැකි බවට ඇතැම් පර්යේෂණ මගින් පෙන්වා දී තිබේ. කෙසේ වෙතත්, දේශගුණික විපර්යාස හේතුවෙන් ලොව පුරා සුළි කුණාටු සංඛ්‍යාව අනිවාර්යයෙන්ම ඉහළ යනු ඇතැයි විද්‍යාඥයන් පවසන්නේ නැත.
ඇතැම් කලාපවල එවැනි කුණාටුවල සංඛ්‍යාව අඩුවිය හැකි බවද පර්යේෂණවලින් පෙන්වා දෙයි. එහෙත් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ ඇතිවන සුළි කුණාටු වඩාත් ප්‍රබල විය හැකි බව විද්‍යාත්මක සාක්ෂි පෙන්වා දෙයි.
සාගර ජලය උණුසුම් වීම මගින් කුණාටුවලට වැඩි ශක්තියක් ලබාදිය හැකි අතර, එමගින් සුළං වේගය ඉහළ යාමට ඉඩ තිබේ. එමෙන්ම උණුසුම් වායුගෝලයකට වැඩි තෙතමනයක් රඳවා තබාගත හැකි බැවින්, එවැනි කුණාටු සමඟ අධික වර්ෂාපතනයක් ඇතිවීමේ අවදානමද ඉහළ යා හැකිය.