ජාන මංකොල්ලයක් සිදු කළ විදේශිකයින් තිදෙනෙක්ට අමතක නොවන දඩයක්
ජාන මංකොල්ලයක නිරතවීමේ අරමුණින් දුර්ලභ කෘමි වර්ග සහ ශාක මෙරටින් රැගෙන යාමට තැත්කළ විදේශිකයින් තිදෙනෙක් අධිකරණය මගින් වැරදිකරුවන් කර තිබේ.
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය ඇතුළු මෙරට ප්‍රදේශ රැසකින් අල්ලා ගන්නා ලද විශේෂ සත්ත්ව කාණ්ඩ 23 කට අයත් සතුන් 529ක් සහ ශාක කොටස් රැසක් මෙරටින් හොර රහසේ රැගෙන යාමට තැත් කිරීමේ සිද්ධියට සම්බන්ධ නඩුවේ චෝදනා 102කට වරද පිළිගත් රුසියානු ජාතිකයන් තිදෙනාට රුපියල් 8,655,000ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහෙස්ත්‍රාත් ජී. ජී. පී. ජයසිංහ මහතා පසුගියදා (21) නියෝග කළේය.
මෙම රුසියානු ජාතිකයන් තිදෙනා, හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය ඇතුළු සීගිරිය, දඹුල්ල, හබරණ, යාල, ගිනිගත්හේන, යාපනය ආදී මෙරට ස්ථාන රැසකින් එකතුකර ගන්නා ලද දැනට මෙරටින් වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති කටුස්සන්, ගෝනුස්සන්, ගෙම්බන්, හුනන්, ගොළුබෙල්ලන්, මකුළුවන්, සර්පයන්, සමනලයන් ඇතුළු සත්ත්ව විශේෂ කාණ්ඩ 23 ට අයත් සතුන් 529 කු හා ශාක වර්ගවල කොටස් විශාල ප්රසමාණයක් විශේෂ බහාලුම්වල බහා නුවරඑළියේ සංචාරක නවාතැන්පොළක සඟවා තිබියදී හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ නිලධාරීන් විසින් 2020 වසරේ පෙබරවාරි මස 26 වනදා අත්අඩංගුවට ගෙන නුවරඑළිය අධිකරණය හමුවේ නඩුපවරා තිබිණි.
වනජීවී දෙපාර්තුමේන්තු ඉතිහාසයේ මෙතෙක් අධිකරණයක් විසින් පැනවූ වැඩිම දඩ මුදල හා වැඩිම චෝදනා සහිත නඩු තීන්දුව මෙය බව හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු පී. එම්. පී. කේ. ප්‍රදීප් කුමාර මහතා පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |