රජයේ වෙබ් අඩවිවලට දැවැන්ත සයිබර් ප්‍රහාර අවදානම - ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයෙන් සියලුම රාජ්‍ය ආයතනවලට හදිසි නියෝගයක්

Report

PHP මෘදුකාංග භාවිතයෙන් සංවර්ධනය කර ඇති වෙබ් අඩවි සහ වෙබ් යෙදුම්වල හඳුනාගෙන ඇති බරපතළ ආරක්ෂක දුර්වලතා කඩිනමින් නිවැරදි කිරීමට පියවර ගන්නා ලෙස ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සියලුම රජයේ ආයතන වෙත උපදෙස් නිකුත් කර තිබේ.

අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, පළාත් සභා, කොමිෂන් සභා, ව්‍යවස්ථාපිත ආයතන සහ රජය සතු සමාගම් වෙත නිකුත් කළ චක්‍රලේඛයක් මගින් අමාත්‍යාංශය මේ බව දැනුම් දී ඇත.

අදාළ ආරක්ෂක දුර්වලතා හේතුවෙන් රජයේ තොරතුරු පද්ධති අනවසර ප්‍රවේශයන්ට, දත්ත සොරකම් කිරීම්වලට සහ මෙහෙයුම් කටයුතුවලට බාධා ඇතිවීමේ අවදානමකට ලක්විය හැකි බව ද එමගින් අනතුරු අඟවා තිබේ.

අමාත්‍යාංශ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතාගේ අත්සනින් නිකුත් කර ඇති MODE/2026/03 අංක දරන චක්‍රලේඛය මගින් CVE-2026-109618 සහ CVE-2026-109619 යන කේත යටතේ හඳුනාගෙන ඇති ආරක්ෂක දුර්වලතා දෙකක් පිළිබඳව අවධානය යොමු කර ඇත.

ඒ අනුව, PHP භාවිත කරන සියලුම පද්ධති සහ වෙබ් යෙදුම් හඳුනාගෙන, ඒවායේ මෘදුකාංග අනුවාද පරීක්ෂා කර, අදාළ ආරක්ෂක යාවත්කාලීන කිරීම් කඩිනමින් ස්ථාපනය කරන ලෙස රජයේ ආයතනවලට උපදෙස් දී තිබේ.

එමෙන්ම, පද්ධතිවල සැක සහිත ක්‍රියාකාරකම් සිදුවී ඇත්දැයි හඳුනා ගැනීම සඳහා පද්ධති ලොග් පරීක්ෂා කරන ලෙසත්, වහාම යාවත්කාලීන කළ නොහැකි ඉහළ අවදානමක් සහිත පද්ධතිවල අන්තර්ජාල ප්‍රවේශය සීමා කරන ලෙසත් නිලධාරීන්ට දැනුම් දී ඇත. මේ අතර, තාක්ෂණික නිලධාරීන්ට අදාළ ආරක්ෂක දුර්වලතා හඳුනා ගැනීමට සහාය වීම සඳහා GovTech Sri Lanka ආයතනය විසින් විශේෂ හඳුනාගැනීමේ මෙවලමක් සකස් කර ඇති බව අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

එම මෙවලම www.govtech.lk/cvesecure වෙබ් අඩවිය ඔස්සේ භාවිත කළ හැකිය. අවශ්‍ය තාක්ෂණික සහාය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරන ලෙස ද රජයේ ආයතනවලට උපදෙස් දී ඇත.

රජයේ ඩිජිටල් යටිතල පහසුකම්වල ආරක්ෂාව තහවුරු කිරීම සහ ඇතිවිය හැකි සයිබර් ප්‍රහාර අවදානම් අවම කිරීම සඳහා කඩිනම් වැළැක්වීමේ ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කම ද ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය අවධාරණය කර තිබේ.

නොරොච්චෝල ලක්විජය ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම යළි ජාතික විදුලි බලපද්ධතියට එක් කෙරේ

නොරොච්චෝල ලක්විජය ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම යළි ජාතික විදුලි බලපද්ධතියට එක් කෙරේ

බෙංගාල බොක්කේ නව සුළි කුණාටුවක් නිර්මාණය වෙයි - දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 75 පන්නන වැසි -

බෙංගාල බොක්කේ නව සුළි කුණාටුවක් නිර්මාණය වෙයි - දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 75 පන්නන වැසි -

Gallery