ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දෙවන තරගයත් දැවැන්ත පරාජයකින් අවසන් කරයි [HIGHLIGHT VIDEO]
ශ්‍රී ලංකාව ලබාදුන් ලකුණු 146ක ඉලක්කය පහසුවෙන් හඹා ගිය එංගලන්තය, දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කරමින් තරග තුනකින් සමන්විත තරගාවලිය තරග 2-0ක් ලෙස ජයගැනීමට සමත් විය.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 145ක් රැස් කළේය. කෙසේ වෙතත්, එම ඉලක්කය එංගලන්ත පිතිකරුවන්ට දැඩි අභියෝගයක් නොවීය.
ශ්‍රී ලංකාව ඉනිමේ ආරම්භයේදී වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දුවාර 5ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 55ක් රැස්කරගෙන සිටියේය.
එහෙත් හයවැනි පන්දුවාරයේදී ලියම් ඩෝසන් කඩුලු දෙකක් දවා ගැනීමත් සමඟ ශ්‍රී ලංකා ඉනිමේ වේගය සැලකිය යුතු ලෙස අඩාල විය. ඩෝසන් සිය පන්දුවාර 4 තුළ ලකුණු 32කට කඩුලු 3ක් දවා ගනිමින් ශ්‍රී ලංකා මැද පෙළට දැඩි පීඩනයක් එල්ල කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට තරගකාරී ලකුණු සංඛ්‍යාවක් කරා යාමට නොහැකි විය.
ලකුණු 146ක ඉලක්කය හඹා ගිය එංගලන්තය ආරම්භයේ සිටම පාලනය සියතට ගත් අතර, ටොම් බැන්ටන් නොදැවී ලකුණු 52ක් රැස්කරමින් ජයග්‍රහණයේ ප්‍රධාන දායකයා බවට පත්විය.
ජොස් බට්ලර්, හැරී බෘක් සහ ජේකබ් ඩොනල්ඩ් ද වේගවත් ලකුණු එක් කරමින් එංගලන්තයේ ජයග්‍රහණය තවත් පහසු කළහ. තරගයෙන් අනතුරුව අදහස් දැක්වූ එංගලන්ත නායක හැරී බෘක්, ශ්‍රී ලංකාව හොඳ ආරම්භයක් ලබා තිබියදීත් ඉනිමේ දෙවැනි භාගයේදී තරගය යළි පාලනයට ගැනීමට හැකිවීම පිළිබඳව කණ්ඩායමේ පන්දු යැවීම අගය කළේය.
ජේමි ඕවර්ටන් පන්දුවාර හතරම අඛණ්ඩව යැවීම පහසු කාර්යයක් නොවූ බව සඳහන් කළ බෘක්, තරග තත්ත්වය නිවැරදිව කියවා ගනිමින් ලියම් ඩෝසන් සිදුකළ පන්දු යැවීමද විශේෂයෙන් ඇගයීමට ලක් කළේය.
ටොම් බැන්ටන්ගේ පිතිකරණය සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ බෘක්, පිටියේ විවිධ ප්‍රදේශ වෙත පන්දුව යොමු කරමින් ඔහු ලකුණු රැස් කළ ආකාරය පිළිබඳව ප්‍රශංසා කළේය. මේ අතර, ජොස් බට්ලර් විස්සයි20 ක්‍රිකට් දිවියේ ලකුණු 15,000 සීමාව පසු කිරීම සම්බන්ධයෙන්ද බෘක් අදහස් පළ කළේය. එය "ඇදහිය නොහැකි සංඛ්‍යාලේඛනයක්" ලෙස හැඳින්වූ ඔහු, වසර 15කට ආසන්න කාලයක් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් බට්ලර් ලබාදුන් දායකත්වයද අගය කළේය.
අනෙක් පසින්, තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සිය කණ්ඩායමේ දස්කම් සම්බන්ධයෙන් දැඩි කලකිරීමක් පළ කළේය. ශ්‍රී ලංකාව පවර්ප්ලේ අවස්ථාවේදී තරගයේ හොඳ ස්ථානයක සිටියද, ඉන් අනතුරුව නිරන්තරයෙන් කඩුලු අහිමි කර ගැනීම හේතුවෙන් ඉනිම බිඳවැටුණු බව අසලංක සඳහන් කළේය. "අපි අපේ ක්‍රිකට් ක්‍රීඩා කළේ නැහැ. T20 කණ්ඩායමක් ලෙස අපට තව බොහෝ දියුණු විය යුතුයි.
අපි තවමත් අවශ්‍ය මට්ටමේ නැහැ. ඒ නිසා තමයි අපි ශ්‍රේණිගත කිරීම්වල නවවැනි ස්ථානයේ ඉන්නේ," යනුවෙන් ඔහු පැවසීය. ශ්‍රී ලංකා ඉනිම බිඳ දැමීමට ලකුණු 32කට කඩුලු 3ක් දවාගත් ලියම් ඩෝසන් තරගයේ වීරයා ලෙස තේරී පත් විය.
තරගයෙන් අනතුරුව අදහස් දැක්වූ ඩෝසන් සඳහන් කළේ තම ප්‍රධාන අවධානය හොඳ පන්දු යැවීමේ සීමාවන් සහ නිවැරදි පන්දු දිග පවත්වාගෙන යාම කෙරෙහි යොමු වූ බවයි.
සාමාන්‍යයෙන් ආරක්ෂිත විකල්පයක් ලෙස කණ්ඩායම තුළ භාවිත වුවද, තරග තත්ත්වය අනුව අවශ්‍ය අවස්ථාවලදී ප්‍රහාරාත්මක භූමිකාවක්ද ඉටු කිරීමට තමන්ට හැකි බව ඩෝසන් පැවසීය.
මෙම පරාජයත් සමඟ එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ අඛණ්ඩ විස්සයි20 ජාත්‍යන්තර පරාජ සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ ගියේය. තරගාවලියේ අවසන් විස්සයි20 තරගය සෙනසුරාදා පැවැත්වීමට නියමිත අතර, එය දිවා තරගයක් ලෙස පැවැත්වීමට කටයුතු යොදා තිබේ.