දිනපතා පැය දෙකක විදුලි කප්පාදුවක්.. ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු නැව් 19න් රු. මිලියන 18,000ක මූල්‍ය අලාභයක් - රජයට දැඩි චෝදනා රැසක්
දූෂණ විරෝධී කාර්ය සාධක බලකායේ කැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක මහතා විසින් වත්මන් රජය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලයට පත්වූයේ මහජන මුදල් සහ රාජ්‍ය වත්කම් ආරක්ෂා කරන බවට පොරොන්දු ලබා දෙමින් වුවද, අද වන විට එම පොරොන්දු සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරන බව සඳහන්.
ඔහු මේ බව කියා ඇත්තේ අද (06) දින ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී ඔහු චෝදනා කළේ ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු නැව් 19ක් මෙරටට ආනයනය කිරීම නිසා රටට රුපියල් මිලියන 18,000ක මූල්‍ය අලාභයක් සිදුව ඇති බවයි.
එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ, මහජන උපයෝගිතා කොමිසමේ සහ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුවේ වාර්තා මඟින් කරුණු තහවුරු වී ඇති බවද ඔහු පවසන බව වාර්තා වේ.
ප්‍රවාහන, විදුලිය සහ සන්නිවේදන සේවාවලට බාධා.. හෙට පාන්දර 1 දක්වා දිවයිනට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීමක්
නිරෝෂන් පාදුක්ක මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එවැනි විශාල මූල්‍ය අලාභයක් සිදුව ඇති බවට චෝදනා එල්ල වන පසුබිමක, පාසල් දරුවන් අධ්‍යාපන කටයුතුවල නිරතව සිටියද දිනපතා පැය දෙකක විදුලි කප්පාදුවකට මුහුණදීමට ජනතාවට සිදුව ඇති බවයි.
එමෙන්ම ඔහු චෝදනා කරන්නේ තැපැල් දෙපාර්තමේන්තුවට ලැබිය යුතු ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සහ ඩොලර් ලක්ෂ 6ක මුදලක් අතුරුදන්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හෝ රජය මෙතෙක් පැහැදිලි ප්‍රකාශයක් සිදුකර නොමැති බවටයි.
මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව සහ භාණ්ඩාගාරය සම්බන්ධයෙන් වගකීම් දරන ජනාධිපතිවරයා බේරුවල සහ බදුල්ල වැනි ප්‍රදේශවල මහජන රැස්වීම් අමතමින් සිටියත්, අතුරුදන් වූ බව කියන මුදල් සම්බන්ධයෙන් ජනතාවට පැහැදිලි කිරීමක් සිදුකර නොමැති බව දූෂණ විරෝධී කාර්ය සාධක බලකායේ කැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන බව වාර්තා වේ.
ඊට අමතරව ඔහු රජයේ නිවාස භාවිතය සම්බන්ධයෙන්ද චෝදනාවක් එල්ල කර තිබෙන බව සඳහන්.
ඒ පාර්ලිමේන්තුව තුළ වර්ග අඩි 35,000ක පහසුකම් සහිත නිල නිවසක් තිබියදී කථානායකවරයා සහ ඔහුගේ ලේකම්වරයා රජයේ නිවාස නීතිවිරෝධී ආකාරයට අත්පත් කරගෙන සිටින බවටයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් නීතිමය ක්‍රියාමාර්ග ගෙන නොමැති බව පැවසූ ඔහු කථානායකවරයාගේ බව කියන දූෂිත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා ඉදිරිපත් කළ වාර්තාව පදනම් කරගනිමින් සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂයේ පක්ෂ විසින් කරුණු 47කින් සමන්විත විශ්වාසභංග යෝජනාවක් සකස් කර ඇති බවද අනාවරණය කර ඇත.
එමෙන්ම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් කථානායකවරයා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබියදී, එම කොමිසමට තොරතුරු ලබා නොදෙන ලෙස පාර්ලිමේන්තු නිලධාරීන්ට බලපෑම් කරන බවටද වාර්තා ලැබී ඇති බව ඔහු පවසන බව සඳහන්.
එහිදී මත්පැන් බෝතල්වල ආරක්ෂිත ස්ටිකර් සම්බන්ධයෙන් මතුව ඇති වංචා චෝදනා පිළිබඳවද ඔහු අදහස් දක්වා ඇති බව වාර්තා වේ.
එසේම රජය නව ටෙන්ඩර් කැඳවීමේදී ISO 37001 දූෂණ විරෝධී කළමනාකරණ පද්ධති ප්‍රමිතියට අදාළ අවශ්‍යතාව ඉවත් කර ඇති බවට ද ඔහු චෝදනා කර ඇති අතර මීට පෙර දූෂණ චෝදනාවලට සම්බන්ධ වූ බව කියන සහ දුරකථන හා බැටරි ආනයනය සඳහා සුදුසුකම් නොලබන සමාගම්වලට කොන්ත්‍රාත් ලබාදීමට මුදල් අමාත්‍යාංශය උත්සාහ කරන බවටද ඔහු චෝදනා කර තිබෙනවා.
එවැනි ක්‍රියාමාර්ග ඔස්සේ රජයට ලැබිය යුතු ප්‍රධාන ආදායම් මාර්ගයක් අහිමි කිරීමේ අවදානමක් පවතින බව පෙන්වා දෙන පාදුක්ක මහතා අවසානයේ අදහස් දක්වමින් කියා ඇත්තේ වත්මන් රජය සංවර්ධනය වෙනුවට මර්දනය තෝරාගෙන තිබෙන බවයි.
එමෙන්ම ඔහු කියා ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත යටතේ අධිකරණ වරෙන්තුවකින් තොරව පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට පොලිසියට හෝ විධායක නිලධාරීන්ට බලය ලබාදීමට ගන්නා ඕනෑම උත්සාහයක් මූලික අයිතිවාසිකම්වලට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවටයි.
තවද ඔහු අවධාරණය කර ඇත්තේ රට පාලනය කිරීමේ හැකියාවක් නොමැති රජයක් විරුද්ධවාදීන් මර්දනය කිරීමට මෙවැනි ක්‍රියාමාර්ගවල නිරත වන බවත් වත්මන් රජයට තවදුරටත් බලයේ සිටීමට ඉඩ නොදිය යුතු බවත් ය.