වාහන ගන්න මහ බැංකුවෙන් ට්‍රිලියනයකට වැඩියෙන් ණය
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසන්නේ මෙම වසරේ වාහන ආනයනය සඳහා ශ්‍රී ලංකාව, ඇමරිකානු ඩොලර් බිලියන 1.5 කට වැඩි මුදලක් වැය කිරීමට ඉඩ ඇති බවයි.
ආනයන තහනම ඉවත් කිරීමෙන් පසු ඇති වූ අධික ඉල්ලුම හේතුවෙන්, මෙම වියදම මීට පෙර අපේක්ෂා කළ ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ඉක්මවායාමට හැකි බව අදහස් පළ වේ.
කොළඹ පැවති “Central Bank’s Policy Agenda for 2025 and Beyond” නම් වැඩසටහනේදී ආචාර්ය වීරසිංහ මෙම අදහස් පළ කළ අතර ආනයන තහනම ඉවත් කිරීමෙන් පසු, රජයේ වාර්ෂික ආදායම් ඉලක්ක සපුරා ගැනීමට සැලකිය යුතු දායකත්වයක් සපයමින්, මෙම වාහනවලින් ලැබෙන සමස්ත ආදායම 2025 අවසානය වන විට රුපියල් බිලියන 450 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරයි.
ආචාර්ය වීරසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ වාහන සඳහා වූ ඉල්ලුම මුලදී ඉහළ ගියද, එය දැන් ස්ථාවර වීමේ ලක්ෂණ පෙන්නුම් කරන බැවින්, ලබන වසරේදී මෙම අංශයෙන් ලැබෙන ආදායම පහත වැටීමට ඉඩ ඇති බවයි.
මේ අතර, වාහන ආනයනය සඳහා මූල්‍ය ආයතන විසින් පුද්ගලයන්ට රුපියල් ට්‍රිලියන 1.16 කට අධික මුදලක් ණයට දී ඇති බව මහ බැංකුව වාර්තා කර ඇත.
මහබැංකු නියෝජ්‍ය අධිපති ජේ.පී.ආර්. කරුණාරත්න පවසන්නේ, මෙම ණයවලින් බහුතරයක් වාහන කල්බදු (vehicle leasing) සහ උකස් ණය (mortgage-backed loans) වන බවයි. බලපත්‍රලාභී මූල්‍ය සමාගම් (LFC) අංශයේ තත්ත්වය ද මින් පැහැදිලි වන අතර 2025 පළමු අර්ධය තුළ මෙම අංශයේ සමස්ත දළ ණය සහ අත්තිකාරම් ප්‍රමාණය රුපියල් බිලියන 1,837 ක් වන අතර ඉන් 63.2% ක් වාහන උකස් ණය වේ.
මහබැංකුවේ වාර්තාවට අනුව, මෙම අංශයේ දෙවන විශාලතම ණය කාණ්ඩය වන්නේ රත්‍රන් ණය (gold-backed lending) වන අතර එය සමස්ත ණය දීමෙන් 19.4% ක් නියෝජනය වේ.