නඩු ගොනුවක පිටු සපා කෑ නීතිඥවරියකගේ නීතිඥභාවය අහෝසි කරයි - අත්හිටවූ සිර දඩුවමකුත්
නීතිඥවරුන්ගේ වෘත්තීය ආචාර ධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු කැකිරාව ප්‍රදේශයේ සේවයේ නියුතු නීතිඥවරියකගේ නීතිඥභාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) තීන්දු කර තිබේ.
මෙම චෝදනාවට අදාළව නිකුත් කරනු ලැබූ නියෝගය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවටද වරදකරු කෙරුණු මෙම තැනැත්තියට වසරක සිරදඬුවම් නියම කොට, එම සිරදඬුවම වසර පහකට අත්හිටුවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
ඊට අමතරව, රුපියල් 25,000 ක දඩයක්ද නියම කර ඇති අතර, මෙම දඩ මුදල ගෙවීම නොකලහොත්, අමතරව මාස හයක සිරදඬුවම් නියම කරන බවත් නඩු තීන්දුවේ සඳහන් වේ.
වග උත්තරකාරිය අදාළ චෝදනාවල වරද පිළිගැනීමෙන් පසු, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.
2023 වසරේ ජූලි 27 වන දා කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩු ගොනුවක, පිටු දෙකක් ගලවා සපා කා හානි සිදු කිරීම හරහා නීතිඥ ආචාර ධර්ම වලට නොගැලපෙන ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන්, තැනැත්තියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර තිබුණි. එම චෝදනා විභාගය අවසන් වනතුරු වග උත්තරකාරියට නීතිඥ වෘත්තියේ නිරත වීම වළක්වා, අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කර ඇත.