මෙදාපාර ලංකාවේ අවුරුද්දේ සැබෑ තත්ත්වය මෙන්න.
මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද තවත් පැය හෝරා කිහිපයකින් උදාවන්නේ අන්කවරදාකටත් වඩා පෙර නොවූ විරූ වටපිටාවක් තුළයි.
වසර දෙකක් කොවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රී ලාංකිකයින්ට අහිමි වූ අවුරුදු සිරි අසිරිය හිත් පුරා විදගැනීමේ අපේක්ෂාවෙන් බොහෝ දෙනෙකු මෙවර අලුත් අවුරුද්ද කෙරෙහි බලාපොරොත්තු තබාගෙන සිටියා.
එහෙත් මතුවූ ආර්ථික අර්බුදය හා හදිසියේ ඇතිවූ දේශපාලනික අර්බුදය හේතුවෙන් ඒ අපේක්ෂාවන් මේ වන විට සම්පූර්ණයෙන්ම සපුරා ගැනීම පවා ඇත්තේ අර්බුදයකයි.
පොහොර හා කිරිපිටි පෝළිම් අඩුවී යද්දී පසුව මතුවූ ගෑස් සහ ඉන්ධන පෝළිම් අලුත් අවුරුදු දිනය තෙක්ම අවසන්වී නැහැ.
විදුලි කප්පාදුව ජන ජීවිතයට එල්ල කලේ කිසිදා අත් නොවිදි තරම් ප්‍රභල බලපෑමක්.
විදුලි කප්පාදුව මාස කිහිපයක් තිස්සේ පැවතියත්, අවුරුද්ද වෙනුවෙන් අද මුළු රටටම කලකට පසු විදුලිය ලැබී තිබෙනවා.
එහෙත් අවුරුද්දෙන් පසු, එනම් හෙට දිනයෙන් පසු යළි දෛනික විදුලි කප්පාදුව ආරම්භ වනු ඇති.
බොහෝ ආර්ථික ගැටළුවලට ප්‍රධානතම හේතුව වූ ඩොලර් හා රටේ විදෙස් සංචිත තවමත් ඇත්තේ පහල මට්ටමකයි.
අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම අලුත් අවුරුදු කැවිලි මේසයට පවා එල්ල කර ඇත්තේ ද සෘජු බලපෑමක්.
වෙනදාට අවුරුද්ද උදා වන්නටත් පෙර දසතින් ඇසෙන රතිඥ්ඥා හඬ ඇසෙන්නේ නැති තරම්.
වෙනත් වසරවල රෙදි පිලි අලෙවිසැල්වල පොදිකෑ ජනතාව අද සිටින්නේ ගෑස් සහ ඉන්ධන පෝළිමේයි.
නගරබද ප්‍රදේශවලින් සැලකිය යුතු තරමින් අවුරුදු සිරි අසිරිය ඈත්වී යද්දී ගම්බද ජනතාව මෙතෙක් රැකගත් සිරිත් විරිත් හෝ ඉටු කිරීමට සූදානම් වන්නේ ආර්ථික, දේශපාලන හා සමාජීය ගැටලු රැසක් මැද වුවත් සම්ප්‍රදායට මුල් තැන දෙමින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |