අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදන සැලසුම මෙන්න..

Sri Lanka
By Aruna Jul 05, 2022 04:12 AM GMT
Aruna

Aruna

Report

අතිරේක සොලිසිටර් ජනරාල් ශ්‍රේෂ්ඨාධිකරණයට කළ දැනුම්දීම අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගෙන බෙදාහැරීම සඳහා රජය විසින් ක්‍රියාමාර්ගයක් සැලසුම් කර ඇති බවත් ඒ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් නීතිපතිවරයා උසාවියට ගොනුකරනු ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

එම සැලැස්මට අනුව ජනතාවට ඉන්ධන බෙදාහැරීමේ කටයුත්තට ප්‍රමුඛත්වය ලැබෙනු ඇතැයිද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එසේ පැවැසුවේ රටේ ජනතාවට අවශ්‍ය භාණ්ඩ පහසුවෙන් ලැබෙන්නට සැලැස්වීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන එය ඉක්මනින් ක්‍රියාත්මක කරන ලෙසට අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු ඇමැති මණ්ඩලයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදීය.

විජිත් කේ. මලල්ගොඩ, මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම් කැඳවන ලදී.

අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වා බෙදාහැරීමට රජය සකස් කර තිබෙන වැඩපිළිවෙළ පිළිබඳ වාර්තාව ලබන 12ට පෙර ‌ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ටාර්වරයාට භාර දෙන ලෙස නීතිපතිට නියෝග කළ විනිසුරු මඬුල්ල එහි පිටපත් පෙත්සම්කරුවන්ට යවන ලෙසද නියෝග කළහ.

පෙත්සම් ලබන 14 දා යළි කැඳවීමට නියම කෙරිණි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, නියෝජ්‍ය සභාපති අනුර මැද්දේගොඩ, ලේකම් රජීව් තිලක් අමරසූරිය, ඉසුරු බාලපටබැඳි, තරිඳු රංජිත් පෙරේරා යන අයගේ නමින් පෙත්සම් දෙක ගොනුකර තිබිණි.

ජනාධිපති නීතිඥ උදිත ඉහළ හේවා සහ ජනාධිපති නීතිඥ කනන් ඊෂවරන් පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළහ.

ජනාධිපති නීතිඥ ඉහළ හේවා පැවැසුවේ ඉන්ධන මිලදී ගෙන ජනතාවට ඉක්මනින් බෙදාහරින බවට රජයේ ඇමැතිවරු විටින් විට පැවැසුවත් ජනතාව එම ප්‍රකාශ විශ්වාස නොකරන බවය.

ඇමැතිවරු කෙරෙහි ජනතාවගේ විශ්වාසය මේ වන විට බිඳවැටී ඇතැයිද පැවැසූ ඔහු ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ බාධාවකින් තොරව ලබාදිය යුතු බවට අගමැතිට නෛතික නියෝගයක් නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ජනතාවට අවශ්‍ය වන ආහාර බෙහෙත්, එල්පී ගෑස් ඉන්ධන යනාදි භාණ්ඩ පහසුවෙන් මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවත් තත්ත්වය දැන් ඉතා නරක අතට පත්වී ඇති බවත් විශේෂයෙන් ඉන්ධන සහ ගෘහස්ථ ගෑස්වල මිලදී ගැනීමට ජනතාවට දින සති ගණන් පෝලීම්වල රැඳී සිටීමට සිදුවී ඇති බවත් මේ ප්‍රශ්න විසඳන දවසක් පේනතෙක් මානයේවත් නැති බවත් ජනාධිපති නීතිඥ ඉහළහේවා වැඩිදුරටත් පැවැසීය.

ජනාධිපති නීතිඥ කනන් ඊශ්වරන් සඳහන් කළේ දැනට රටේ උද්ගත වී තිබෙන ආර්ථික අර්බුදය නිසා සාමාන්‍ය ජනතාව මෙන්ම ව්‍යාපාරිකයන්ද දැඩි පීඩාවකට පත්ව සිටින බැවින් ඒ අයට කඩිනමින් සහන සලස්වන ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගයක් සකස් කර ක්‍රියාවේ යෙදූ බවට රජයට නියෝග නිකුත් කළ යුතු බවය.

කෘෂිකාර්මික සහ දේශීය කිරි නිෂ්පාදනය නැංවීමට බලකරන නියෝග නිකුත් කළ යුතු යැයිද ඔහු පැවැසීය. වැඩිදුර විභාගය ලබන 14 වැනිදාට කල් තැබිණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now