20 - 30ත් අතර තරුණ ප්‍රජාවට විශේෂ දැනුම්දීමක්..!
මෙතෙක් එන්නත් ලබා නො ගත් වයස අවුරුදු 20ත් 30ත් අතර තරුණ ප්‍රජාවට කඩිනමින් කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත ලබා ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඉල්ලීමක් කරනවා. ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම ඉල්ලීම සිදුකළා.
ඊයේ දිනයේ මෙරටින් නව ආසාදිතයන් 941 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 516,465 ක් දක්වා ඉහළ ගියා. ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් සියලු දෙනා අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව මෙරට සක්‍රිය ආසාදිතයන් සංඛ්‍යාව 46,761ක් වන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 456,857 ක්. එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා සිදු වූ බවට ඊයේ තහවුරු කරන ලද නව මරණ 61ක් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 12,847ක් දක්වා ඉහළ ගියා.
මේ අතර, මේ දක්වා කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා මිලියන 31ක් මෙරටට රැගෙන විත් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා. ඉන් මිලියන 1.2ක් දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි බෙදා හැර ඇති බවයි එහි ප්‍රධානී වෛද්‍ය සමිත ගිනිගේ සඳහන් කළේ. පළමු මාත්‍රාව ලබා ගත් වයස අවුරුදු 30 ඉක්ම වූවන්ගෙන් සියයට 99.3ක්ම මේ වන විට දෙවන මාත්‍රාව ද ලබාගෙන එන්නත්කරණය සම්පූර්ණ කර තිබෙනවා.
ඉදිරි මාසය තුළ මාත්‍රා දෙක ම ලබාගෙන එන්නත්කරණය සම්පූර්ණ කළ සංඛ්‍යාව මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 65ත්, 70ත් දක්වා වැඩි කර ගත හැකි බවට වසංගත රෝග විද්‍යා අංශය අනාවැකි පළ කරනවා. කෙසේ වෙතත් මේ වන විට වයස අවුරුදු 20ත්, 30ත් අතර තරුණ ප්‍රජාවගෙන් එන්නත් ලබාගෙන ඇත්තේ සියයට 50ක් පමණක් බව සඳහන්.
කොරෝනා එන්නත් සම්බන්ධයෙන් පවතින විද්‍යාත්මක නො වන දුර්මත ඇතුළු කරුණු හේතුවෙන් මෙම වයස් කාණ්ඩවල තරුණ ප්‍රජාව එන්නත්කරණයට යොමු නො වන තත්ත්වයක් උද්ගත ව පවතිනවා.
කෙසේ වෙතත් මේ දක්වා මෙරට තුළ සිදු ව ඇති සමස්ත කොරෝනා මරණවලින් 150ක් ම වයස අවුරුදු 30ට අඩු මරණ වන අතර ඉන් 96ක්ම අවුරුදු 20ත්, 30ත් අතර අය බව සදහන්. තරුණ ප්‍රජාව කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීමට සමාජමය වගකීමක් ද පවතින බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සමිත ගිනිගේ කියා සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |