දකුණු කොරියාවේ යන්න ඉන්න පිරිසට සුබ ආරංචියක්
දකුණු කොරියාවේ රැකියා අවස්ථා වැඩි වශයෙන් ශ්‍රී ලාංකික තරුණයන්ට ලබා දීමට අපේක්ෂා කරන බව එරට ප්‍රකට සමාගමක ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ප්‍රකාශ කර තිබෙනවා. ඒ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා සමග අද (04) පැවති සාකච්ඡාවකදීයි.
එම නැව් සමාගමේ අදාළ පිරිස මෙරටට පැමිණ තිබුණේ දකුණු කොරියානු රැකියා සදහා ශ්‍රී ලාංකික තරුණයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සහ ඊට අදාළ පුහුණුව ඇතුළු කටයුතු සොයා බැලීම සඳහායි. මෙරට තරුණයන් ඉහළ නිපුණත්වයකින් යුතු බවත්, පුහුණුව ලැබූ ශ්‍රී ලාංකික තරුණයන් වැඩි වශයෙන් එරට රැකියා සඳහා ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත් අදාළ සමාගමේ නියෝජිත පිරිස ප්‍රකාශ කර තිබෙනවා.
රජය මැදිහත් වී නිසි වෘත්තීය පුහුණුවක් මෙරට තුළදී ලබා දීමත්, ප්‍රමාදයකින් තොරව හැකිතාක් කඩිනමින් පුහුණු ශ්‍රමිකයන් දකුණු කොරියාවට යොමු කිරීමේ අවශ්‍යතාවත් ඔවුන් එහිදී පෙන්වා දුන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. එසේම මෙරට ශ්‍රමිකයන්ගේ පහසුකම් සහ ආරක්ෂාව උපරිම වශයෙන් ලබා දෙන බවට ද ඔවුන් එහිදී සහතික වී තිබෙනවා.
මේ අනුව නෞකා ඉදිකිරීම් හා අලුත්වැඩියාව, විදුලි කාර්මික , වෑල්ඩින් ආදී ක්ෂේත්‍රවල පුහුණු ශ්‍රමිකයන් සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බවත් ඔවුන්ට ඉහළ වැටුප් හිමිවන බවත් නියෝජිත පිරිස මෙහිදී ප්‍රකාශ කර ඇති බව සඳහන්.
මෙහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර සිටියේ පුහුණු ශ්‍රමිකයන් සඳහා මෙරට අංගසම්පූර්ණ පුහුණු මධ්‍යස්ථානයක් ඉදි කිරීමට අනුග්‍රහයක් ලබා දෙන ලෙසයි. වෘත්තීය නිපුණත්වයට අමතරව මේ හරහා කොරියානු භාෂාව, සංස්කෘතිය යනාදිය පිළිබදව අවබෝධයක්ද ලබා දීමට අපේක්ෂා කරන බවයි නියෝජ්‍ය කථානායකවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ.
ඒ සඳහා කැමැත්ත පළ කළ නියෝජිත පිරිස පෙන්වා දුන්නේ මෙරට දක්ෂ තරුණයන්ට තවදුරටත් දකුණු කොරියාවේ රැකියා අවස්ථා වැඩි වශයෙන් ලබා දීමට අපේක්ෂා කරන බවයි.