සිරිල් ගාමිණි පියතුමා ගැන CID යෙන් විශේෂ දැනුම් දීමක්..

Siril Gamini piyathuma Cid police
By Aruna Nov 08, 2021 05:48 AM GMT
Aruna

Aruna

Report

මෙම අවස්ථාවේ සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (08) නීතිපතිවරයා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිරිල් ගාමිණී පියතුමා විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසූරිය මහතා එම දැනුම් දීම සිදුකළේය.

මෙහිදී අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දෙමින් සඳහන් කළේ, එම අවස්ථාවේදී ප්‍රතිසංඛාර සිරිල් ගාමිණි පියතුමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නොමැති බවය.

විමර්ශන කටයුතු නිමා වීමෙන් පසුව නීතිපති උපදෙස් මත මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සිටියේය.

මෙහිදී සිරිල් ගාමිණී පියතුමා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අධිකරණයට දන්වා සිටියේ, දැනුම් දෙන සුදුසු වෙලාවක විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශක් ලබාදීමට තම සේවාදායකයා සූදානම් බවය.

මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සිටියේ ප්‍රමාණවත් කාලයක් ලබා දී පෙත්සම්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් ලබාගන්නා ලෙසයි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha