සයිනෝෆාම් එන්නතේ ක්‍රියාකාරීත්වය මාස කිහිපයකින් හීන වෙනවා ද? ඇත්ත නැත්ත මෙන්න..

covid19 Sinopharm immunization Hemantha Herath
By Sewvandhi Nov 02, 2021 08:44 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සයිනොෆාම් එන්නත ලබා ගනිමින් කොවිඩ් මර්දන එන්නත්කරණය සම්පුර්ණ කළ පුද්ගලයින් සඳහා මාස 6 ඉක්මවීමට පෙර බූස්ටර් මාත්‍රාව ලබාදීම පිළිබඳව විද්වතුන් විසින් තීරණය කරනු ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

සයිනොෆාම් එන්නත ලබාගත් පුද්ගලයින්ට මාස 6ක් ඉක්මවීමට පෙර බූස්ටර් මාත්‍රාව ලබාදිය යුතු බවට ඇතැම් පාර්ශව අදහස් පළ කර තිබුණි. ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය රජීව් ද සිල්වා මහතා පැවසුවේ, සයිනොෆාම් එන්නතේ කාර්යක්ෂමතාව මාස 3කට පමණ පසුව අඩුවන බවට අනාවරණය වී ඇති බවය.

"සයිනොෆාම් එන්නත දිහා බැලුවොතින් බහරේන්වල දත්තවලින් පෙනිලා තියෙනවා මාස 5කට පස්සේ, සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකක් ගත්ත අය සහ ෆයිසර්, ඇස්ට්‍රාසෙනිකා සහ ස්පුට්නික් මාත්‍රා ගත් අයට සාපේක්ෂව වැඩියෙන් කොවිඩ් හැදෙනවා. බරපතළ ආසාත්මිකතා ඇතිවෙනවා සහ මරණ පොඩ්ඩක් වැඩී. ඒ නිසා කාලයක් යනකොට සයිනොෆාම් එන්නතේ ආරක්ෂකතාවය අඩුයි.

හැබැයි සයිනොෆාම් විතරක් නෙමෙයි. සයිනොෆාම් එකත් එක්ක ආරක්ෂාකතාවය අඩුවෙන එක පේනවා මහාචාර්ය නීලිකා මලවිගේ ගේ දත්ත අනුව. හැම වයස් කාණ්ඩයකම පෙනිලා තියෙනවා සයිනොෆාම් එන්නත් දෙකක් ගැහුවට පස්සේ, සුමාන 12කට පස්සේ එයාගේ ප්‍රතිදේහ ප්‍රමාණය ඉතාමත්ම අඩු තත්ත්වයකට වැටෙනවා. ඒක නිසා මං හිතන්නේ අවුරුදු 20ක් නැත්නම් අවුරුදු 30ට වැඩි ඕනෑම කෙනෙකුට මාස 6කට පස්සේ, තුන්වෙනි මාත්‍රාවක් දෙන එක නුවනට සුදුසුයි."

මේ සම්බන්ධයෙන් අද (02) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාගෙන් විමසීමක් කළේය.

ප්‍රශ්නය - විශේෂඥ්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය පවා සඳහන් කරනවා සයිනෝෆාම් එන්නතේ ක්‍රියාකාරීත්වය මාස 2ක් 3ක් යන කොට හීන වෙනවා කියලා. එහෙම වුනොත් තුන්වන මාත්‍රාව දෙන්න කියලා තියෙනවා මාස 6කට පෙර. එහෙම වුනොත් වෛරස ව්‍යාප්තිය රට තුළ සිදුවෙයිනේ සීඝ්‍රයෙන් ?

"මේ සම්බන්ධයෙන් අවශ්‍ය කරන විශේෂඥ්‍ය මතය සමාලෝචනයට ලක් වෙනවා. මේ පිළිබඳව හැකි ඉක්මනින් විද්වත් මතයක් විද්‍යානුකූලව විශ්ලේෂණය කරන්න ඕනේ. හුඟාක් අය මේ සම්බන්ධයෙන් මත පළ කරන්නේ තොරතුරු සහ දකින අත්දෑකීම් එක්ක. මේ තත්ත්ව පාදක කරගෙන පුළුල් සමාලෝචනයක් ඒ පිළිබඳ කරන්න ඕනේ එය දැන් සිදුවෙනවා. ඒක පදනම් කරගෙන යම් කිසි ආකාරයක අපට නිගමනයකට එන්නට පුළුවන් නම් මේකේ තිබෙන අඩු පාඩු හෝ ඒකට ප්‍රතිකර්මයක් හැටියට යම් යම් දේවල් කළ යුතුයිද කියන එක ඒ පිළිබඳව විද්වතුන් විසින් බෝවන රෝග පිළිබඳව උපදේශක කාරක සභාවට නිර්දේශ කරාවී එහි දී සාකච්ඡා කරලා රජයට නිර්දේශ කරාවී මේ සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක් ද කියලා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now