ඉවතලන කඩදාසියත් මාටියා ගහලා

trending news gagana news Minister of Mass Media today news Mr.dalas Alahapperuma
By krishani Jan 26, 2022 04:03 AM GMT
krishani

krishani

Report

රජයේ මුද්‍රණාලයෙන් ඉවතලන කඩදාසි විකිණීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යාංශය මගින් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් දිනපතා සිදුකරන මුද්‍රණ කටයුතුවලදී කඩදාසි ටොන් 2500ක් පමණ කපා ඉවත් කරන බවත්, ඒවා අලෙවි කිරීමේදී දිනකට කිලෝ 2,000ක 2,500ක පමණ වංචාවක් සිදුවන බවට වෘත්තීය සමිති කීපයක් කළ පැමිණිල්ලකට අනුව දෙමටගොඩ පොලීසිය මගින් ද පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙන බව ඇමතිවරයා සඳහන් කළේය.

මෙම ඉවත් කරන කඩදාසි තොග ටෙන්ඩර් ක්‍රමයට අලෙවි කෙරෙන අතර, ගැණුම්කරු බර අනුව මුදල් ගෙවා ඒවා භාරගැනීම සිදුව ඇත.

මෙම කඩදාසි කිරීමේදී පළමුව හිස් ලොරියේ බර කිරා පසුව ඉවත් කරන කඩදාසි පැටවූ ලොරියේ බර කිරීම සිදුකර කඩදාසිවල බර ගණනය කර ඇති බවත්, හිස් ලොරියේ බර ප්‍රමාණය වැඩි කර දක්වමින් කිලෝ 2,000ක 2,500ක පමණ වංචාවක් කර ඇති බවත් ඇමතිවරයා පැවසීය.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ(25) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

මේ සම්බන්ධයෙන් මුද්‍රණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණනයක් සිදු කර ඇති බවත්, අභ්‍යන්තර විගණකවරයා එම වාර්තාව අමාත්‍යාංශ ලේකම්වරයාට භාර දී ඇති බවත් කී ඇමතිවරයා අමාත්‍යාංශය වෙනම පරීක්‍ෂණයක් පවත්වන ලෙස අමාත්‍යාංශ අනූෂ පැල්පිට මහතාට තමන් දැනුම් දුන් බව ද කීවේය.

මෙම වංචාව කාලයක් තිස්සේ වී ඇත්ද යන්න සොයාබලන බව කී ඇමතිවරයා වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබාදීමට කටයුතු කරන බවද කීවේය.

මෙය හෙළිදරව් කිරීම ගැන වෘත්තීය සමිති සාමාජිකයන්ට ස්තුතිවන්ත වන බවද අමාත්‍යවරයා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now