මොකක්ද මේ අභ්‍යවකාශයෙන් ආවා කියන කළු දියමන්තිය - වෙන්දේසියටත් දාලා

world gagana news Sri lanka sinhala news today trending news black diamond
By krishani Jan 23, 2022 09:49 AM GMT
krishani

krishani

Report

අභ‍්‍යාවකාශයේ සිට පතිත වූ ග්‍රාහක කොටසක් හෝ උල්කාෂ්මයක් පතිත වීමෙන් හටගත් බවට සැලකෙන දුර්ලභ කලු දියමන්තියක් ඩුබායිහිදී ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබෙනවා.

කැරට් 555.55ක් බරැති ස්වභාවිකව හැඩතල ගැන්වුණු මෙම දියමන්තිය ලබන මාසයේ ලන්ඩනයේදී වෙන්දේසි කිරීමට නියමිතයි.

ඒ ඩුබායි සහ ලොස් ඇන්ජලීස්හිදී ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුවයි.

එය අවම වශයෙන් ඩොලර් මිලියන 7කට අලෙවි වනු ඇති බවටයි සුප්‍රකට Sotheby වෙන්දේසි ආයතනය ප්‍රකාශ කළේ.

ස්වභාවිකව හැඩතල ගැන්වෙන මෙවැනි කලු දියමන්ති අතිශය දුර්ලභ වන අතර එය මීට වසර බිලියන 2.6ත් 3.8ත් අතර කාලය තුල නිර්මාණය වී ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ "එනිග්මා" ලෙස හැඳින්වෙන මෙම දියමන්තියට හිමිකම් කීමට එක් වාසනාවන්ත කෝටිපතියෙකුට හෝ ප්‍රකෝටිපතියෙකුට ඉක්මනින් හැකියාව ලැබෙනු ඇති බවයි.

ගිනස් වාර්තාවන්ට අනුව මෙය දැනට ලොව විශාලතම කැපූ කළු දියමන්තිය ලෙසටයි සැලකෙන්නේ.

ස්විට්සර්ලන්තයේ හවුස් ඔෆ් ගුබෙලින් සහ ඇමරිකාවේ මැණික් විද්‍යා ආයතනය යන ආයතන දෙකම මෙවැනි විශාලතම දියමන්තියක් මෙතෙක් හමුවී නොමැති බවට ප්‍රකාශ කර තිබෙනවා.

එය ප්‍රථම වරට ගිනස් ලෝක වාර්තා විසින් ලැයිස්තුගත කරන ලද්දේ 2006 වසරේදීයි. වෙන්දේසි ආයතනයක් වන Sotheby's විසින් මෙම අද්විතීය දියමන්තිය ඩුබායිහිදී පසුගිය ජනවාරි 17 වනදා එළිදක්වනු ලැබුවා. මෙම දියමන්තියේ අසාමාන්‍ය වර්ණය, බර සහ හැඩයට අමතරව, වැඩි වටිනාකමක් ලබාදෙන හේතුව වන්නේ එය අභ්‍යවකාශයෙන් වැටුණු එකක් බවට සැලකීමයි. වසර බිලියන 1 ක් පැරණි Enigma දියමන්තිය අභ්‍යවකාශයේ සිට පැමිණ ඇතැයි විශ්වාස කෙරෙන අතර උල්කාපාත බලපෑමකින් හෝ පෘථිවිය හා ගැටුණු "දියමන්ති සහිත" ග්‍රහකයකින් එය නිර්මාණය වන්නට ඇති බවටයි සැලකෙන්නේ.

කෙසේ වෙතත්, කළු දියමන්ති පිළිබඳ විශේෂඥයින් ප්‍රකාශ කර ඇත්තේ අභ්‍යවකාශයෙන් වැටුණු බවට කෙරෙන ප්‍රකාශය තමන් සැක කරන අතර මෙය බොහෝ දුරට පෘථිවිය තුලම නිර්මාණය වූවක් වන්නට ඇති බවයි.

මෙම දුර්ලභ දියමන්ති වර්ගය වෙන්දේසියකදී මෙතෙක් අලෙවි වන විශාලතම මුහුණැති විසිතුරු කළු දියමන්තිය බවටයි සැලකෙන්නේ.

මෙම දියමන්තිය සොයා ගෙන කපා ඔප දමා ඇත්තේ කවුරුන්ද යන්න මෙතෙක් හෙළිකර නොමැති අතර එහි පෙර හිමිකරු හෙළි නොකර සිටීමට තීරණය කළ බවයි Sotheby’s වෙන්දේසි ආයතනය පවසන්නේ. කළු දියමන්තිවල පාරාන්ධ ඛනිජ අධික ඝනත්වයකින් ඇතුළත්ව තිබෙනවා.

කළු දියමන්ති, කාබනෝඩෝ (Carbonado diamonds) ලෙසද හැඳින් වෙනවා.

අනෙකුත් වර්ණ සහිත වටිනා පාෂාණවලට වඩා ඒවා වෙනස් වන්නේ අභ්‍යවකාශයේ ඇති මූල ද්‍රව්‍ය වන නයිට්‍රජන්, හයිඩ්‍රජන් හෝ බෝරෝන් වැනි රසායනික අපද්‍රව්‍යවලින් ඒවා අපවිත්‍ර නොවන බැවින්.

කළු දියමන්තිවල වර්ණය බොහෝ දුරට අඳුරු පැහැයක් ගන්නවා. ඒවායේ පාරාන්ධභාවය ඇති වන්නේ ආලෝකයේ පරාවර්තනය වළක්වන "බහු ස්ඵටික" ව්‍යුහයක් මගින් බව සඳහන්. උල්කාපාතවල ඇති ඛනිජයක් වන ඔස්බෝනයිට් ද (osbornite) ඒවායේ අඩංගුයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now