වයඹ සරසවියේ උපකුලපති පුටුවට දේශපාලනික පොරයක්

sinhala news trending news gagana news post of vice chancellor wayamba university of sri lanka
By krishani Jan 23, 2022 09:36 AM GMT
krishani

krishani

Report

මෙරට විවිධ ක්ෂේත්‍රවලට විද්‍යාර්ථීන් රැසක් දායාද කළ වයඹ විශ්වවිද්‍යාලයේ පරිපාලනය තුළ මේ වනවිට දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතු ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුර සඳහා මේ වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත සැලකිය යුතු ලිපි ගණනාවක් විවිධ පාර්ශ්වවලින් යොමුව ඇති බැවින්.

එනම්, ජනාධිපතිවරයෙකුගේ බලතලවලට බලපෑම් කරමින්, ආණ්ඩු පක්ෂයේම දේශපාලනඥයින් තිදෙනකු සහ තවත් ආණ්ඩුවට සම්බන්ධ එහෙත් රාජ්‍ය නොවන සංවිධානයක සංවිධායකයෙක් ද මේ වනවිට අදාළ විශ්වවිද්‍යාලයේ නව උපකුලපති තනතුර සඳහා ඔවුන්ගේ හිතවතුන්ගේ නාම යෝජනා කර ඇති බව දැකිය හැකියි.

එමෙන්ම යම් සරසවියක කුලපතිවරයා පත් කිරීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවරුණ ද , සරසවිවල උපකුලපති ධුරයට සුදුස්සන් පත් කිරීම කිසිදු ලෙසකින් රටක ජනාධිපතිවරයා සතු බලතලයක් නොවන බවයි බොහෝ විද්වතුන් චෝදනා කරන්නේ.

එලෙස ජනාධිපතිවරයා විසින් එම පත් කිරීම් සිදු කරන්නේ නම් ,එය සැබවින් ම දේශපාලනීකරණය වූ සරසවි අධ්‍යාපන රටාවකට යොමු කරවීම බව ද ඔවුන් පෙන්වා දෙනවා.

එ තුළින් රටකට සිදු විය හැකි උපරිම විනාශය සිදු වන බවත් බොහෝ විද්වත් පාර්ශ්ව විසින් වැඩිදුරටත් සඳහන් කරනු ලබනවා.

මේ වනවිට වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති පත් කිරීම සඳහා ‍රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත්, කුලියාපිටිය වියත්මග සභාපති නීතිඥ ඒ. එච්. එම්.මායාදුන්නේ සෙනෙවිරත්න, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. එම්. සමන්ප්‍රිය හේරත් සහ පඬුවස්නුවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායක සහ සභාපති ගුණපාල රත්නසේකර යන අයවලුන් විසින් මෙලෙස තම හිතවතෙකු පත් කර ගැනීම සඳහා සිය ලිපි ශීර්ෂ යටතේ ලිපි ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති අයුරු දැකිය හැකියි.

මෙරට ඇති රාජ්‍ය විශ්වවිද්‍යාල 16ටම අදාළ ප්‍රදේශයන්හි සිටින මන්ත්‍රීවරු කැමති පිරිස් එම විශ්වවිද්‍යාලවල උපකුලපති ධුරයට පත් කිරීම ම එම පළාතේ පොලිස් ස්ථාන සමග කිසිදු අයුරකින් වෙනසක් නැති බවයි විද්වත් සංගම විසින් අවධාරණය කරන්නේ.

කිසිදු දියුණු රටක එරට පාලකයා විසින් තම රටේ සරසවි සඳහා ඉහළ පුටුවලට යෝජනා ලිපි මගින් තනතුරු ලබා නොදෙන බවත්, එසේ නම් බ්‍රිතාන්‍ය මහරැජිනට ද එලෙස ලියුම් යා යුතු බවත් ඔවුන් හාස්‍යයෙන් යුතුව පෙන්වා දෙනවා.

එබැවින් මෙම තත්ත්වය අතිශය වියවුල් අධ්‍යාපනයකට පෙරමං තැනීමකට සූදානම් වන ලකුණු පෙනෙන හෙයින්, කිසිදු ලැජ්ජාවක් හෝ සදාචාරයක් හෝ නැති විලසින් මෙලෙස යවන ලියුම් කියුම් වහාම නතර කිරීමට අදාළ බලධාරින් කටයුතු කළ යුතු බව පෙන්වා දෙන විද්වතුන් පවසන්නේ, සුදුස්සාට සුදුසු තැන ලබාදීමට මෙරට බලධාරින් වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now