දෙවුන්දර තරුණ ඝාතනයේ වෙඩික්කරු පොලිස් දැලේ!
දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේදී තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකපිට අවශ්‍යව සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය පවසන පරිදි, ඊයේ (07) එම සැකකරුවන් නීතිඥවරුන් දෙදෙනෙකු සමඟ ගන්දර පොලිස් ස්ථානයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය හඳුනාගෙන ඇති පරිදි, අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් මෙම ඝාතනයට වෙඩි තැබූ පුද්ගලයා බවට තහවුරු වී ඇත.
මෙම අත්අඩංගුව සිදුකර ඇත්තේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසිනි. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 26 සහ 35 වන ගන්දර සහ දෙවිනුවර ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
පසුගිය මාර්තු 21 වැනිදා, දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේදී යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකුට, වෑන් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කර තිබුණි.
මේ අතර, හික්කඩුව පොලිස් වසමේ කුමාරකන්ද ප්‍රදේශයේ මාර්ගයක නිමි ඇඳුම් වෙළඳසැලක් ආසන්නයේ සිටි කාන්තාවකට සහ පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියකට ආධාර අනුබල සැපයූ බවට සැකපිට තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරු ඊයේ (07) හික්කඩුව පොලිස් වසමේ ගිනිමැල්ලගහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු වයස අවුරුදු 23ක් වන ගෝනපීනුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පසුගිය 03 වැනිදා රාත්‍රියේ, හික්කඩුව පොලිස් වසමේ කුමාරකන්ද ප්‍රදේශයේ මාර්ගයක නිමි ඇඳුම් වෙළඳසැලක් ආසන්නයේ සිටි කාන්තාවකට සහ පුද්ගලයෙකුට, යතුරුපැදියකින් පැමිණි නාඳුනන දෙදෙනෙකු විසින් වෙඩි තබා තිබුණි.
එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එම දෙදෙනා කරාපිටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී, පිරිමි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත.
