නිවසේ වහල මත සූර්ය විදුලි පද්ධති සවිකරන අයට රුපියල් 250,000ක් දක්වා දැවැන්ත බැටරි සහනාධාරයක්
බලශක්ති ගබඩාකරණය රජයේ මහා පරිමාණ ව්‍යාපෘතිවලට පමණක් සීමා නොකර ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන් ද ඊට සම්බන්ධ කර ගැනීමේ අරමුණින් Net Plus ක්‍රමවේදය යටතේ නව සහනාධාර වැඩසටහනක් යෝජනා කර තිබේ.
ඒ අනුව, බැටරි ගබඩා පහසුකම් සහිත වහල මත සූර්ය විදුලි පද්ධති අලුතින් ස්ථාපනය කරන ගෘහස්ථ පාරිභෝගිකයන්ට බැටරි මිලදී ගැනීම සඳහා මෙම සහනාධාරය ලබාදීමට නියමිතය.
යෝජිත වැඩසටහන යටතේ බැටරි ගබඩා ධාරිතාවයෙන් කිලෝවොට් එකක් සඳහා රුපියල් 25,000ක සහනාධාරයක් ලබාදීමට සැලසුම් කර ඇති අතර, උපරිම කිලෝවොට් 10ක ධාරිතාවක් සඳහා එම සහනාධාරය හිමිවේ. ඒ අනුව එක් ගෘහස්ථ පාරිභෝගිකයෙකුට ලබාගත හැකි උපරිම සහනාධාර මුදල රුපියල් 250,000කි.
මෙම සහනාධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 3,500ක මුදලක් වෙන් කිරීමට ද යෝජනා කර තිබේ.
මීට අමතරව, සූර්ය බලශක්තිය ගබඩා කිරීම සඳහා භාවිත කරන බැටරි ආනයනයේදී අයකරනු ලබන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බද්ද (PAL) ඉවත් කිරීමට ද යෝජනා ඉදිරිපත් කර ඇත.