පාසල් විවෘත කිරීම ගැන තීරණයක් ?

sri lanka Pandemic Sri lanka
By Sithumi Jul 26, 2021 11:49 AM GMT
Sithumi

Sithumi

Report

අගෝස්තු මස අවසානයේ හෝ සැප්තැම්බර් මස මුල සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්වලට යටත්ව යම් සැලැස්මකට අනුව පියවරෙන් පියවර පාසල් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය, ජී.එල්. පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (26) නෙළුම් මාවතේ පැවති පොදුජන පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි. පාසල් හැකි ඉක්මනින් ආරම්භ කිරීමේ පරමාර්ථය ඇතිව මේ වනවිට දීප ව්‍යාප්ත මට්ටමින් ගුරුවරුන්, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යමණ්ඩල එන්නතරකරණ වැඩසටහන ක්‍රියාත්මක බවද ඔහු පැවසීය. ඒ අනුව එන්නත්වල දෙවන මාත්‍රාව අගොස්තු අවසානයට පෙර ලබාදීමට ද අපේක්ෂිත ය. 

  අද උදෑසන වනවිට එම එන්නත්කරණ වැඩසටහනේ 77%ක් පමණ අවසන්කර තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. ඒ අනුව, බස්නාහිර පළාතේ 98%ක් දකුණු පළාතේ 83%ක් වයඹ පළාතේ 82%ක් උතුරු මැද පළාතේ 82%ක් ඌව පළාතේ 80%ක් මධ්‍යම පළාතේ 79%ක් උතුරු පළාතේ 62%ක් සබරගමු පළාතේ 52%ක් නැගෙනහිර පළාතේ 48%ක් වශයෙන් එම එන්නත්කරණය අවසන්කොට තිබේ. ඒ අනුව අද උදෑසන වනවිට මෙම වැඩසටහන යටතේ 222,940ක ප්‍රමාණයක් සඳහා එන්නත් ලබා දී තිබේ. 

  මේ අතර ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ගැටලුව විසඳීමට රජය තමන්ට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.