දුම්රිය ස්ථාන සියයක් නවීකරණය කරන්න පුද්ගලික ව්‍යාපාරිකයන්ට අවස්ථාව
දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ‘Dream Destination’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ වන ව්‍යාපාරිකයන්ගේ හමුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙහිදී පෙන්වා දුන්නේ රට සංවර්ධනය කිරීම සඳහා සියලුදෙනා එක් විය යුතු බවත්, ඒ සඳහා ඕනෑම අයෙකුට දායක විය හැකි වේදිකාවක් වත්මන් රජය විසින් සකස් කර ඇති බවත්ය.
‘Dream Destination’ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ව්‍යාපාරිකයන්ට සිය ස්තුතිය පළ කරන බවද ජනාධිපති ලේකම්වරයා කියා සිටියා.
මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ ලෝකයට සාපේක්ෂව වර්තමානයට ගැලපෙන පරිදි මෙරට දුම්රිය ස්ථාන නව අනන්‍යතාවකින් සන්නාමගත කිරීම සඳහා රජය, පෞද්ගලික අංශය සහ මහජනතාව ඒකාබද්ධ වූ වැඩසටහනක් ලෙසයි.
මෙමඟින් අපේක්ෂිත කරනු ලබන්නේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන එක්ව පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමටයි.
මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවද ඇතුළත්ව සියලු මගීන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව සලසන පිරිසිදු, සුන්දර දුම්රිය ස්ථාන පද්ධතියක් රට තුළ නිර්මාණය කිරීමයි.
ඒ සඳහා NIO Engineering සංවිධානය ස්වේච්ඡාවෙන් නිර්මාණශීලී දායකත්වය සපයන අතර, ඊට අදාළ ඉදිකිරීම් සඳහා මූල්‍ය දායකත්වය ව්‍යාපාරිකයන් විසින් සැපයේ. මාස 06ක් ඇතුළත මෙම ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතය.
මෙම අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, ජනාධිපති අතිරේක ලේකම් එස්.පී.සී. සුගීෂ්වර යන මහත්වරුද, ව්‍යාපාරිකයෝ පිරිසක්ද එක්ව සිටියහ.
