ලුණු සම්බන්ධයෙන් රට තුල අවධානම් තත්ත්වයක්..
දිගින් දිගටම රටපුරා පැවැති වැසි සහිත කාලගුණය හේතුවෙන් ලුණු නිෂ්පාදනයට බාධා එල්ල වීමෙන් ඉල්ලුමට සරිලන සැපයුමක් දීමේ අවදානමක් රට තුළ උද්ගත වී ඇතැයි වාර්තා වනවා.
දේශීය වශයෙන් ලුණු නිෂ්පාදනය කෙරෙන්නේ පුත්තලම, පලාවිය හා හම්බන්තොට ලුණු ලේවායන් ආශ්‍රිතවයි.
මෙම වර්ෂයේදී මාස ගණනාවක් තිස්සේ එම ප්‍රදේශවලට වැසි ඇද හැළීම හේතුවෙන් ලුණු නිෂ්පාදනයට අවශ්‍ය සූර්යාලෝකය ලැබීමට බාධා සිදුව තිබුණා.
මේ හේතුවෙන් අපේක්ෂිත ලුණු නිෂ්පාදනය ළඟා කරගැනීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.
අයහපත් කාලගුණික තත්ත්වය අඛණ්ඩව පැවතුණහොත් ප්‍රමාණවත් පරිදි වෙළෙඳපොළට ලුණු නිකුත් කිරීමට නොහැකි වනු ඇතැයි පලාවිය ලුණු සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ රණසිංහ බණ්ඩාර මහතා කියා සිටියේ ය.
මෙරට වාර්ෂික ලුණු පරිභෝජනය මෙට්‍රික් ටොන් 125,000ත් 150,000ත් අතර ප්‍රමාණයක් වන අතර ඉන් වැඩිම නිෂ්පාදනයක් කෙරෙන්නේ පුත්තලම පලාවිය ආශ්‍රිතව පවත්වාගෙන යන කර්මාන්තශාලාවලිනි.
එහෙත් අපේක්ෂිත ලුණු අස්වැන්න ගැනීමට හැකිව තිබුණේ මේ වසරේ මාර්තු මස අග සහ අප්‍රේල් මුල් කාලයේදී පමණි.
පලාවිය ලුණු සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ රණසිංහ බණ්ඩාර මහතා කියා සිටියේ, මැයි මාසයේදී ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ලුණු මෙට්‍රික් ටොන් දසදහසක ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි.
මේ වන විට පාත්තිවල යම් තරමකට ලුණු නිෂ්පාදනය වී තිබුණත් ඇදහැලෙන වර්ෂාපතනය හේතුවෙන් අස්වැන්න ලබා ගැනීමට හැකියාවක් නොමැති බවයි හෙතෙම කියා සිටියේ.
මේ වන විට මෙට්‍රික් ටොන් දහඅටදහසක් පමණ ගබඩා කර ඇති බවද ඔහු කියා සිටියා.
හම්බන්තොට ලුණු සමාගමේ විධායක නිලධාරිවරයා පැවසුවේ, හම්බන්තොට ආශ්‍රිතවද දිගින් දිගටම වර්ෂාපතනය ඇදහැලීම හේතුවෙන් ලුණු නිෂ්පාදනයට බාධා එල්ල වී ඇති බවයි.
කෙසේවුවද ඔහු පැවැසූයේ ඉදිරි කාලයේදී රටේ ලුණු ගිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවයි.
මාස තුනකට ප්‍රමාණවත් පරිදි ලුණු තොගයක් පවතින බවත් ඉදිරි මාස දෙකේදී ප්‍රමාණවත් පරිදි අස්වනු ලබාගත හැකි බවට විශ්වාස කරන බවද හෙතෙම අවධාරණය කළේ ය.
කෙසේවුවද වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ මෙම වසරේදී හම්බන්තොට ලුණු ලේවායේ අපේක්ෂිත ලුණු නිෂ්පාදනය සපුරාගත නොහැකි වී ඇති බවයි.
අයපහත් කාලගුණය සහ කළමනාකරණ දුර්වලතා හේතුවෙන් මෙට්‍රික් ටොන් පනස්දහසක් පමණ අහිමිවී ඇති බව වෘත්තීය සමිති පෙන්වා දෙයි.
කර්මාන්තකරුවන්ට ලුණු නිකුත් කිරීමේ ප්‍රමාදයක් නිරීක්ෂණය වී ඇති බවද වාර්තා වේ.