රුසියා-යුක්රේන යුද්දයට ශ‍්‍රී ලංකා හමුදා සෙබළුන් යවනවාද?..තීරණය මෙන්න.

Sri Lanka World Ukraine Russian
By Aruna Mar 02, 2022 05:47 AM GMT
Aruna

Aruna

Report

යුක්රේනය විසින් පිහිටුවමින් සිටින ජාත්‍යන්තර ආරක්ෂක බල ඇණිය සමඟ එක්වීමට ශ්‍රී ලංකා හමුදාව නියෝජනය කරන කිසිදු නිලධාරියෙකු යොමු නොකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙක් සඳහන් කළා.

රුසියානු හමුදාවට එරෙහිව සටන් වැදීමට කැමති ඕනෑම විදේශීය සටන්කාමියෙකුට වීසා නොමැතිව යුක්රේනයට ඇතුළුවීමට සහ එම බල ඇණිය සමග එක්වීමට යුක්රේන ජනාධිපතිවරයා ලෝක ප්‍රජාව ගෙන් කර ඇති ඉල්ලීම පිළිබඳව ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය ගැන කළ විමසීමකදී එම නිලධාරියා එසේ පැවසීය.

රුසියාව සහ යුක්රේනය යන රාජ්‍යයන් සමග ශ්‍රී ලංකාවට තිබෙන්නේ එක සමාන රාජතාන්ත්‍රික සම්බන්ධතාවයක් බවද පැවසූ ඔහු එම රාජ්‍යයන් දෙක අතර පවතින යුද ගැටුම් වලට අදාලව කිසිදු මැදිහත්වීමකට ශ්‍රී ලංකාව නොයන බවද කියා සිටියා.

මේ අතර යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් 20 දෙනෙකු යුක්‍රේන දේශසීමා පසුකරමින් පෝලන්ත සහ හංගේරියාවට පැමිණ තිබෙනවා.

යුක්‍රේන, තුර්කි සහ ජොර්ජියාහි ශ්‍රී ලංකා තනාපති එම් ආර් හසන් පැවසුවේ තවත් යුක්‍රේනයේ ජීවත්වූ ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකු පෝලන්ත, ස්ලෝවැකියා සහ රුමේනියා දේශසීමා වෙත ළගාවෙමින් සිටින බවයි.

කෙසේවෙතත් එලෙස පැමිණෙන සියලු ශ්‍රී ලාංකිකයින් මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුනොවන බවද තානාපතිවරයා සඳහන් කළා.

ඊට හේතුවී ඇත්තේ ඇතැම් ශ්‍රී ලාංකිකයින් යුක්‍රේන ජාතිකයින් සමඟ විවාහ වී එරට තුළ ස්ථිර පදිංචිකරුවන් ලෙස ජීවත්වූ අය වීම බවද යුක්‍රේන, තුර්කි සහ ජොර්ජියාහි ශ්‍රී ලංකා තනාපතිවරයා පැවසුවා.

මේ අතර මෙරට තුළ රැඳී සිටින රුසියානු හා යුක්රේන සංචාරකයින්ට තවදුරටත් සහන සැලසීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව සංචාරක අමාත්‍යංශය පවසනවා.

මෙරට රැඳී සිටින රුසියානු හා යුක්රේන සංචාරකයින්ගේ වීසා කාලය අය කිරීමකින් තොරව මාස 02 කින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

අදාළ සංචාරකයින්ගේ කමැත්ත අනුව ඔවුන්ට සිය රටවල් ආසන්නයේ පිහිටි වෙනත් රටවල්වලට රැගෙන යාමට ඇති හැකියාව පිළිබඳ සොයා බලමින් සිටින බවයි සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now