වසංගත ඒකකයේ ප්‍රධානියා ඉවත් කිරීමේ හේතුව හෙළිවේ

sri lanka Corona virus
By Sithumi Jun 19, 2021 10:02 AM GMT
Sithumi

Sithumi

Report

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරට ස්ථාන මාරුවක් ලබාදීමට හේතුව මේ වනවිට හෙළිව තිබෙනවා. නි

යෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ වසංගත රෝග විද්‍යා අංශය පසුගිය දිනවල ලබාදුන් තොරතුරු වල පැවති ගැටළු සහගත තත්ත්වය හේතුවෙන් මෙම ස්ථාන මාරුව සිදුකර ඇති බවයි.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇති බව අද (19) පෙරවරුවේ වාර්තා වුණා. මෙම නව පත් කිරීමත් සමඟ ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස සේවය කළ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර, මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කර තිබෙනවා.

ඩෙංගු මර්දන ඒකකයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ ධුරයට ඉල්ලුම් කර තිබූ අතර, ඒ අනුව ඔහුට එම තනතුර ලැබී ඇති බවයි. විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කිරීමත් සමඟ වසංගත රෝග විද්‍යා අංශයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පත් කර තිබෙනවා.

කෙසේ වෙතත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානියාගේ ස්ථාන මාරුව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ ආයතන ප්‍රතිසන්ධාන කිරීමේ ක්‍රියාවලිය යටතේ මෙම ස්ථාන මාරුව ලබාදී ඇති බවයි.

ඊයේ මෙරටින් වාර්තා වූ නව ආසාදිතයන්ගෙන් වැඩිම පිරිසක් එනම් 493 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. එම ආසාදිතයින්ගෙන් 135 දෙනෙකු අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් හඳුනා ගැණුනා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 274 දෙනෙකු මඩකලපුවෙන් 174 දෙනෙකු හමුවුණා.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 166 දෙනෙකු වාර්තාවී ඇති අතර, කෑගල්ගෙන් සහ ගාල්ලෙන් ආසාදිතයන් 111 දෙනෙකු බැගින් වාර්තාවී තිබෙනවා. පසුගිය කාල වකවානුවේ ආසාදිතයන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වූ කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ ආසාදිතයන් වාර්තාවීම පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ. එම සංඛ්‍යාව 104 ක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  

Join now