හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ අල්ලස් ඉල්ලීම් ගැන වහාම දැනුම් දෙන්නැයි ජනතාවට දැනුම්දීමක්
හදිසි මරණ පරීක්ෂකවරුන් අල්ලස් හෝ වෙනත් වරප්‍රසාද ඉල්ලා සිටී නම් ඒ පිළිබඳව වහාම දැනුම් දෙන ලෙස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි.
ඒ අනුව එම අමාත්‍යංශය දුරකතන අංක දෙකක් හඳුන්වා දී ඇති අතර අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ 0702724637 (වට්ස් ඇප්) අංකයට හෝ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ 1954 අංකය වෙත තොරතුරු ලබා දිය හැකිය
අධිකරණ ක්‍රියාවලිය පහසු කරවීම සඳහා ගරු සේවයක් ලබාදීම වෙනුවෙන් අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ 108 වගන්තිය යටතේ හදිසි මරණ පරීක්ෂකවරුන් පත් කරනු ලබන අතර ඔවුන් එම සේවය දවසේ ඕනෑම වේලාවක ලබා දිය යුතුයි.
එසේම එම අමාත්‍යංශය සඳහන් කරන්නේ ඔවුන්ගේ සේවය වෙනුවෙන් ඔවුන්ට මුදල් හෝ වෙනත් ප්‍රතිලාභයක් ලබාදීම නීති විරෝධි වන බවයි .
අධිකරණ අමාත්‍යංශය පෙන්වා දෙන්නේ මියගිය පුද්ගලයින්ගේ ඥාතින් පසුවන සංවේදී මානසික තත්වය උපයෝගි කර ගනිමින් ඇතැම් හදිසි මරණ පරීක්ෂකවරුන් එම ඥාතීන්ගෙන් අල්ලස් ලෙස මුදල් මෙන්ම වෙනත් වරදාන සහ වරප්‍රසාද ගන්නා බවට නිරන්තරයෙන් අමාත්‍යාංශයට පැමිණිලි ලැබී තිබෙන බවයි