බ්ලැක් ලිස්ට් කිරීම ගැන මහජන බැංකුවෙන් ප්‍රතිචාර

People's bank black lst reply letter
By Sewvandhi Oct 29, 2021 10:14 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ, ආර්ථික සහ වාණිජ කාර්යාලය විසින් මහජන බැංකුව අසාදු ලේඛනගත කිරීම සම්බන්ධයෙන් මහජන බැංකුව ප්‍රතිචාර දක්වා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මහජන බැංකුව පවසන්නේ, එම ණයවර ලිපියට අදාළ ගෙවීම් සිදුකිරීම තාවකාලිකව අත්හිටුවා ඇත්තේ, අදාළ වෙළෙඳ ගනුදෙනුව සම්බන්ධයෙන් කොළඹ වාණිජ මහාධිකරණය විසින් නිකුත් කරන ලද වාරණ නියෝගයකට අනුව බවය.

මේ සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලයේ අදාළ නිලධාරීන් දැනුවත් කර ඇතැයි ද මහජන බැංකුව නිවේදනය කරයි. මෙම ගෙවීම් ප්‍රමාදයට එකම හේතුව වනුයේ වගකිවයුතු ආයතනය පුරවැසියෙකු ලෙස මෙරට අධිකරණ නියෝගවලට අනුකූලව කටයුතු කිරීමට මහජන බැංකුව බැඳී සිටීම හේතුවෙන් බව ද එම නිවේදනයේ සඳහන්ය.

දැනට ක්‍රියාත්මක වන නීතිමය බාධක ඉවත් කිරීමෙන් පසු, සාමාන්‍ය වෙළෙඳ පරිචයන් අනුව ණයවර ලිපි සඳහා ගෙවීම කඩිනමින් සිදුකරන බව ද මහජන බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. මෑතකදී මහජන බැංකුව විසින් නිකුත් කළ ණයවර ලිපියට අදාළ ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය අදාළ තීරණය ගෙන තිබුණි.

දැනට මතභේදයකට ලක්වී ඇති චීනයේ චින්දාඕ සීවින් බයෝටෙක් සමාගමෙන් ගෙන්වීමට සැලසුම් කළ කාබනික පොහොර සඳහා ණයවර ලිපි නිකුත් කර තිබුණේ, මහජන බැංකුව හරහාය. නමුත් ශ්‍රී ලංකා ශාක නිරෝධායන සේවය එම පොහොර සාම්පල පරීක්ෂාවෙන් පසුව පවසා තිබුණේ, එම පොහොර සාම්පලවල අර්වීනියා නම් බැක්ටීරියාව අඩංගු බැවින් එම පොහොර භාරනොගත යුතු බවටය.

සීමාසහිත ලංකා පොහොර සමාගම විසින් චින්දාඕ චීන සමාගමට, එහි දේශීය නියෝජිතයාට සහ මහජන බැංකුවට එරෙහිව වාණිජ මහාධිකරණයෙන් ඉකුත් 22වනදා වාරණ නියෝගයක් ගෙන තිබුණි. ලංකා පොහොර සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින්, ගිවිසුම යටතේ චීන සමාගම විසින් ජීවානුහරණය කළ කාබනික පොහොර ලංකාවට නැව්ගත කිරීමට අවශ්‍ය වුවද එම තොගයේ ක්ෂුද්‍ර ජීවීන් අඩංගු වියහැකි බව සිය නැව් උපදෙස් (shipping advice) වලදී සමාගම පිළිගෙන ඇති බව අධිකරණය වෙත එහිදී දන්වා සිටියේය.

ජාතික ශාක නිරෝධායන සේවය (National Plant Quarantine Service) විසින් ඔවුන් වෙත යවන ලද නියැදිය පරීක්‍ෂා කර ඇති අතර ඇතැම් හානිකර බැක්ටීරියා ඇතුළු ජීවීන් එහි සිටින බවට තහවුරු කර තිබුණි. මෙම තොගය, කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද රුපියල් බිලියනයකට වඩා වැඩි වටිනාකමකින් යුත් ටෙන්ඩර් ක්‍රියාවලියකින් ලබාගත් නැව්ගත කිරීමක (shipment) කොටසකි.

ඒ අනුව මෙම වාරණ නියෝගය මගින් චීන සමාගම වන චින්දාඕ සීවින් බයෝටෙක් ගෘප් කම්පනි (Qingdao Seawin Biotech Group Co.) වෙනුවෙන් විවෘත කරන ලද ණයවර ලිපියක් (Letter of Credit) යටතේ මහජන බැංකුව විසින් කිසිදු ගෙවීමක් සිදු කිරීමට නොහැකි විය.

එම චීන සමාගමට සහ එහි දේශීය නියෝජිතයාට ණයවර ලිපිය යටතේ කිසිඳු ගෙවීමක් ලබාගැනීමද අවහිර වනපරිදි වාණිජ මහාධිකරණය විසින් වාරණ නියෝගය නිකුත් කර තිබුණි. පසුව ඉකුත් 26 වනදා ද චින්දාඕ චීන සමාගමට, එහි දේශීය නියෝජිතයාට සහ මහජන බැංකුවට එරෙහිව කොළඹ වාණිජ අධිකරණයෙන් තවත් වාරණ නියෝගයක් නිකුත් කෙරිණි.

චින්දාඕ සීවින් බයෝටෙක් ගෘප් කම්පැනිය වෙනුවෙන් විවෘත කරන ලද ණයවර ලිපියක් යටතේ මහජන බැංකුව විසින් කිසිදු ගෙවීමක් කළ නොහැකි වන ලෙස අදාළ වාරණ නියෝගයේ ද සඳහන් වී තිබේ. මහජන බැංකුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now

 

Gallery