කණ්ඩලමේ හැඩකාරයාට දැන් සිංහල බෙහෙත් ප්‍රතිකාර
වෙඩි තුවාල ලබා මාස හතරකට අධික කාලයක් කණ්ඩලම ජලාශයේ ප්‍රතිකාර ලබමින් සිටි 'කණ්ඩලමේ හැඩකාරයා' නම් වන අලියාට සිංහල බෙහෙත් භාවිතයෙන් ප්‍රතිකාර ආරම්භ කර ඇත. මෙම ප්‍රතිකාර ඊයේ(07) පස්වරුවේ සිට ආරම්භ විය.
වනජීවී දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතිව, ව්‍යාපාරිකයකුගේ මූල්‍ය අනුග්‍රහය යටතේ, ගම්පහ, දොම්පේ, ගිරිදර ප්‍රදේශයේ පාරම්පරික වෛද්‍යවරයකු වන ගාමිණී කරුණාරත්න මහතා සහ ස්වාමීන් වහන්සේලා කිහිප නමක් එක්ව මෙම ප්‍රතිකාර ආරම්භ කර තිබේ.
ඒ අනුව, 07 වැනිදා පෙරවරුවේ කැලෑ ඖෂධ රැස්කර ගෙනවිත්, අලියාගේ තුවාලවලට ආලේපනය කිරීමත්, ඉදිරි පාදවල යටි ප්‍රදේශවල ඇති බරපතළ තුවාල සඳහා බෙහෙත් බැඳීමත් සිදු කෙරිණි.
පසුගිය කාලයේ වනජීවී පශු වෛද්‍ය කණ්ඩායමේ උත්සාහයෙන් යම් සුවයක් ලැබුවද, පාදවල ආසාදන හේතුවෙන් අලියා නැවත ජලය මත වැතිරීමට සිදුවිය. වනජීවී නිලධාරීන්, පශු වෛද්‍යවරුන් සහ ප්‍රදේශවාසීන් එක්ව නැවතත් ප්‍රතිකාර ආරම්භ කළත්, අලියාට නැගිටීමට නොහැකි විය.
මේ හේතුවෙන්, ගාමිණී කරුණාරත්න මහතා කැඳවාගෙන, ඔහුගේ පාරම්පරික වෛද්‍ය දැනුම යොදාගනිමින් ප්‍රතිකාර ආරම්භ කර ඇත. ඔහු පවසන පරිදි, මුලින්ම පාදවල තුවාල සුව කිරීමටත්, අලියාගේ ප්‍රතිචාර අනුව ඉදිරි ප්‍රතිකාර සිදු කිරීමටත් සැලසුම් කර ඇත.
ගාමිණී කරුණාරත්න මහතා සඳහන් කළේ, දිවයිනේ බොහෝ ප්‍රකට අලි ඇතුන්ට ප්‍රතිකාර කළ අත්දැකීම් තමන් සතු බවයි.





