පැල්පත් ඉවත්කොට ලබන වසරේ ස්ථිර නිවාස තනාදෙන්නේ මෙහෙමයි?...

remove shanties build permananent houses
By Thaya Dec 25, 2020 11:33 AM GMT
Thaya

Thaya

Report

ලබන වසරේදී රටේ සියලු පැල්පත් නිවාස ඉවත් කර ජනතාවට සුදුසු නිවාස ලබා දීමට කටයුතු කරන බව ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය

කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

“ඔබට ගෙයක් - රටට හෙටක්” නිවාස වැඩසටහන යටතේ දැනට රට පුරා ඉදිවන නිවාස 14,022 ට අමතරව තවත් නව නිවාස 14,022 ක් ඉදිකිරීම ආරම්භ කරන බවත්, ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නිවාස, මාර්ග, සමෘද්ධි, සමූපකාර සහ කාන්තා කටයුතු යන අමාත්‍යංශ ඒකාබද්ධ කර ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම අරමුණු කරගත් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ වගකීම අපට ලබා දී ඇති බවද ඇමතිවරයා සඳහන් කළේය.

අගමැතිතුමාගේ මගපෙන්වීම යටතේ නව නිවාස ව්‍යාපෘති රැසක් ජනතාවට ලබා දෙමින් නිවාස ඇමතිවරයා ලෙස ලබන වසරට පා තබන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ “ඔබට ගෙයක් - රටට හෙටක්” ජාතික නිවාස වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ, මීගමුව සහ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නව නිවාස 4 ක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට අද සහභාගිවු අවස්ථාවේදීය.

මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බෝලවලාන, උඩයාරතෝප්පුව සහ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බෝගමුව උතුර, ගලහිටියාව දකුණ යන ප්‍රදේශවලදී මෙම නිවාස විවෘත කිරීම් සිදුකරන ලදි. මීට අමතරව ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පහළ ඉඹුල්ගොඩ නැගෙනහිර ප්‍රදේශයේ ඉදිවන නව නිවසට මුල්ගල තැබීමද අමාත්‍යවරයා අතින් අද දින සිදු කෙරිණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත,ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය විසින් “ඔබට ගෙයක් - රටට හෙටක්” ජාතික නිවාස වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. මෙම වැඩසටහන මෙරට ග්‍රාමසේවා වසම් 14,022 ක තුළම ක්‍රියාත්මක වේ.