ඉදිරි මාස 6 අගමැතිගෙන් නව සැලැස්මක්.. කරන්න යන විශේෂ දේ
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් අතර අද (14) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සාකච්ඡාවක් සිදුවිය. එහිදී අගමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේ ඉදිරි මාස 6 සඳහා ඉන්දියාවෙන් සංචාරකයින් ගෙන්වා ගැනීම සඳහා සැලැස්මක් සකස් කරන ලෙසය.
පලාලි ගුවන් තොටුපොළ තුළ මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස ද අගමැතිවරයා ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පැවසුවේ මෙම වසරේ ඉතිරි කාලය සඳහා සංචාරකයින් ලක්ෂ 8ක් පමණ ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත් එහි ඇස්තමේන්තු ගත ආදායම ඩොලර් මිලියන 800ක් බවත්ය.
ඩොලර් බිලියන 3.5 ක අපේක්ෂිත ආදායමක් සහිතව 2025 වනවිට සංචාරකයින් මිලියන 2.5 ක් පමණ ආකර්ෂණය කරගැනීම ශ්‍රී ලංකාව බලාපොරොත්තු වෙයි. එහිදී, ඉහළ වියදම් සහිත සංචාරකයින් මිලියන 1.5 ක් පමණ ආකර්ෂණය කරගැනීමට දිගුකාලීන සැලසුම් සකස් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා සියලු පාර්ශ්වකරුවන් ගෙන් ඉල්ලා සිටියේය. එ් සඳහා රැස්වීම්, ප්‍රවර්ධන, සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන කෙරෙහි අවධානය යොමුකරන ලෙසද උපදෙස් දී තිබේ.
සංචාරක ක්‍ෂේත්‍රයේ බොහෝ සේවකයන් මේ වනවිටත් වෙනත් අවස්ථා සඳහා පිටත්ව ගොස් ඇති බවත්, මෙරට හෝටල් පාසල්වලට අලුතින් බඳවා ගැනීම් විශාල ලෙස අඩුවීමත් සමග තරුණ තරුණියන් දැනුවත් කිරීමේ වැඩසටහන් සහ නව රැකියා අවස්ථා ඇති කරන ලෙසට ද අගමැතිවරයා අදාළ පාර්ශ්වකරුවන්ට උපදෙස් දී ඇත.
දේශීය සංස්කෘතික අංග කෙරෙහි උනන්දුවක් දක්වන සංචාරකයින් වෙනුවෙන් සංස්කෘතිය උත්සව සංවිධානය කරන ලෙසද අගමැතිවරයා පෙන්වා දුන්නේය. මේ සඳහා එක්වී සිටි සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ ශ්‍රී ලංකාවට දැනට පනවා ඇති සංචාරක සීමා ඉවත් කරන ලෙස අදාළ රටවලට පෙන්වාදීම සඳහා තමන් දැනටමත් රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව සමග සාකච්ඡා කර ඇති බවය.
ඉන්දීය සංචාරකයින් කෙරෙහි අවධානය යොමුකරමින් විදේශීය සංචාරකයින් ආකර්ෂණය කරගැනීම සඳහා දේශීය හා ජාත්‍යන්තර ප්‍රසිද්ධ පුද්ගලයින් සමග ප්‍රවර්ධන සංදර්ශන පැවැත්වීමට සැලසුම් කරන බවද අමාත්‍යවරයා පැවසීය.
සංචාරක අමාත්‍යාංශයේ නියෝජිතයින්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා හෝටල් කළමනාකරණ හා සංචාරක ආයතනය, ශ්‍රී ලංකා හෝටල් සංගමය, ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය, ලංකා හෝටල් පාසල් උපාධිධාරී සංගමය, ශ්‍රී ලංකා වෘත්තීය සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන සහ උත්සව සංවිධායකයින්ගේ සංගමය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශය ඇතුළු පාර්ශ්ව රැසක් මෙම සාකච්ඡාවට සහභාගී විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |