ජීවිත 270ක් බිලි දෙමින් ලංකාව ලේ විලක් කළ පාස්කු ප්‍රහාරය වෙනුවෙන් ඊයේ රටම කතා කළ තීන්දුවේ සම්පූර්ණ විස්තරය

Report

පුද්ගලයින් 270කට අධික පිරිසක් මරණයට පත් කරමින් තවත් 500කට අධික පිරිසක් තුවාල කරමින් ඉකුත් 2019 වසරේ අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින උදෑසන 8.45ට පමණ මෙරට ක්‍රිස්තියානි පල්ලි තුනක් සහ කොළඹ පිහිටි සුඛෝපභෝගී හෝටල් තුනක් ඉලක්ක කරගනිමින් ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය තවමත් ලාංකීය ජනතාවට අමතක නොවන ඛේදවාචකයකි.

එම ඛේදජනක සිදුවීමට වගකිව යුතු බවට සැක කළ විවිධ පාර්ශවයන්ගේ නම් විටින් විට නීතිය හමුවට පැමිණීයත් ඒ සියල්ල වසර ගණනාවක් පුරාවට ඇඳුණු නඩු ලෙස පමණක් වින්දිතයන්ට දැනුණි. එහෙත් පමා වූ යුක්තිය සම්බන්ධයෙන් බලාපොරොත්තු සුන් වූ මොහොතක ඊයේ දින වින්දිතයන්ට එක් බලාපොරොත්තුවක් ලැබුණි.

ඒ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (31) මරණ දඬුවම නියම කරමින් ලබා දුන් ඉතිහාසයේ පෙරළිකාර තීන්දුව හේතුවෙන්.

අඳාළ තීන්දුව විනිසුරු මඬුල්ලේ බහුතර තීන්දුව ලබාදෙමින් සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ විසින් ප්‍රකාශයට පත් කරන ලදි.

ඒ අනුව ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම තුළ සාපරාධී ලෙස වගකීම් පැහැරහරිමින් පුද්ගලයින් 268 දෙනෙකුගේ මරණය සිදුකිරීම සහ 500කට ආසන්න පිරිසකට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා 855ක් යටතේ අධිචෝදනා ගොනු කර ඇත.කෙසේ වෙතත් මීට පෙර සිදු කළ දිගු නඩු විභාගයකින් අනතුරුව ඉකුත් 2022 වසරේ පෙබරවාරි 18 වන දින එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල, හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කර තිබුණා.

එසේ වුවත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ලබාදුන් එම තීන්දුව අභියෝගයට ලක්කරමින් නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කළා. එහි තීන්දුව ලබා දෙමින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල, විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කරමින් මහාධිකරණය දුන් තීන්දුව බලරහිත කරමින් යළි නඩුවේ විත්තිවාචක කැඳවන ලෙසට නියෝග කර තිබුණා.

ඒ අනුව ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විත්තිවාචක කැඳවමින් නඩුව නැවත විභාග කළ අතර එහි තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ ඊයේ(31) පස්වරුවේයි.

එහිදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර අධිකරණයට පැමිණ සිටි අතර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර පිළිබඳ නඩු තීන්දුව පළමුව ප්‍රකාශයට පත් කර සිටියා. ඒ අනුව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරුවරු තීන්දු කළේ අඳාළ චෝදනාවලට පූජිත් ජයසුන්දර වරදකරු කරන බවයි.

ඒ අනුව, "පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගෙන රාජකාරිය නොකර හැරීම හේතුවෙන් පුද්ගලයින් 268 දෙනෙකු මරණයට පත් වී තවත් පුද්ගලයින් 586 දෙනෙකුත් තුවාල ලබා තිබෙනවා. අදාල කාලය තුළ රටේ පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළේ මේ විත්තිකරු. පුරවැසියන් ආරක්ෂා කර ගැනීමේ සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම පැවරී ඇත්තේ ඔහු වෙතයි. නමුත් 2019 වසරේ අප්‍රේල් මස 20 වනදා සවස එවක රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා විසින් පාස්කු ඉරුදින කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි කතෝලික දේවස්ථාන, සංචාරක හෝටල්වලට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු මෙම විත්තිකරු වෙත ලබාදී තිබුණා. එහෙත් එම තත්ත්වය වළක්වා ගැනීමට ඔහු කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නැහැ. අපරාධ වළක්වා ගැනීම සඳහා රාජ්‍යය විසින් පත්කළ නිලධාරියා වශයෙන් ඔහු තමන්ගේ වගකීම් පැහැර තිබෙනවා"

යන වරදේ ස්වභාවය සැලකිල්ලට ගෙන හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණීය දණ්ඩනය නියම කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ ප්‍රකාශ කළා. එසේම එහිදී සුළුතර තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරු විරාජ් වීරසූරිය විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නැති බවත් ඒ අනුව ඔහු නිදොස් කොට නිදහස් කරන බවත් නිවේදනය කර සිටියා.

ඉන් පසු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට අදාළ තීන්දුව ද ප්‍රකාශයට පත් කර සිටියා. විනිසුරු මඩුල්ලේ සභාපති ප්‍රියන්ත ලියනගේ සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරුවරු සිය බහුතර තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ විත්තිකාර හේමසිරි ප්‍රනාන්දුට පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා 855 න් චෝදනා 854 කට වරදකරු කරන බවයි.

එහිදී විනිසුරු ප්‍රියන්ත ලියනගේ සඳහන් කළේ,

"පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට පෙර දින සවස රාජ්‍ය බුද්ධි සේවයේ එවක අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පසුදා එල්ලවීමට නියමිත ප්‍රහාරය පිළිබඳව විත්තිකරුට දැනුම් දී තිබුණා. නමුත් ආරක්ෂක ලේකම්වරයා වශයෙන් එය වැළැක්වීමට විත්තිකරු කිසිදු ක්‍රියාමාර්ගයක් ගැන තිබුණේ නැහැ. ඔහුට බුද්ධි අංශ රැස්වීමක් කැඳවා ගතයුතු පියවර ගැන සාකච්ඡා කරන්න තිබුණා. ඒ වගේම ත්‍රිවිධ හමුදාව සමඟ සාකච්ඡා කර ප්‍රහාර වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමට හැකියාව තිබුණා. එහෙත් ඔහු එවැනි ක්‍රියාමාර්ග කිසිවක් ගත්තේ නැහැ. මේ තුළින් විත්තිකරු මෙම ප්‍රහාරය හේතුවෙන් මිනීමැරුම් සිදුවිය හැකි බවට හොඳටම තොරතුරු දනිමින් එය වැළැක්වීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ." යනුවෙන්.

එමෙන්ම සුළුතර තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු විරාජ් විරසූරිය පැවසුවේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නොමැති බවයි. එබැවින් විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බවත් විනිසුරුවරයා සඳහන් කළා.

කෙසේ වුවද බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත හේමසිරි ප්‍රනාන්දුට ද මරණීය දණ්ඩනය පැනවුවා.

ඉන් පසුව පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබුවා. රටම කම්පා කළ ඛේදවාචකයක් වෙනුවෙන් එක් තීන්දුවල් ඊයේ දින මෙසේ සටහන් විය.

නීතිය කඩ වෙන සෑම මොහොතකම රටේ නීතිය ආරක්ෂා කිරීම බලධාරීන්ගේ වගකීම වුවත් මෙවැනි වැරදි පිටුපස සිටින්නේම එවැනි බලවතුන් වීම අවාසනාවකි. බල තණ්හාවෙන් සහ විවිධ ලාභ ප්‍රයෝජන තකා අහිංසක ජීවිතයක් නැති කිරීම කොයි විටෙකත් සාධාරණීය කළ නොහැකි වරදකි. එහෙත් එවැනි වරදක් ඉදිරියේ නීතියේ දෙවඟනගේ දෑස වසා තිබීම ඊට වඩා ඛේදවාචකයකි.

වසර ගණනාවකට පසු ලැබුණු මෙය එක් නඩු තීන්දුවක් පමණි. ඇතැම් විට මෙහි තත්ත්වය අනාගතයේ වෙනස් විය හැක. මන්ද නීතියේ හිඩැස් බලධාරීන් තරමට මහජනතාව නොදන්නා බැවිනි.

ඒ කෙසේ වුවත් වරදකරුවන් දස දෙනෙක් නිදැල්ලේ සිටියද, එක් නිවැරදිකරුවෙකුටවත් දඬුවම් නොලැබිය යුතු බව සැබෑව. එහෙත් යුක්තිය ප්‍රමාද වීම යනු යුක්තිය ප්‍රතික්ෂේප කිරීම බව ද බලධාරීන් දැන ගත යුතුමය.

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න