ජනපති විගණකාධිපතිකමට මිලිටරි ලොක්කෙක් ගේන්න හදලා - ඒ නමත් ප්‍රතික්ෂේප වෙයි..
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ විගණකාධිපති ධුරය සඳහා තවත් නාම යෝජනාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
මෙවර ප්‍රතික්ෂේප වූයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කළ ඕ.ආර්. රාජසිංහ මහතාගේ නමයි. ඔහු යුද හමුදා විගණන අංශයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති අතර, හමුදා පසුබිමක් සහිත කෙනෙකු විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වයට තර්ජනයක් බව විචාරකයෝ පෙන්වා දෙති.
මෙම ප්රතික්ෂේපයත් සමග පසුගිය මාස අට තුළ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නාම යෝජනා හතරක්ම (ස්ථිර හෝ වැඩබලන පදනම මත) ව්‍යවස්ථා සභාව විසින් බැහැර කර ඇත. පසුගිය සති දෙක තුළ වැඩබලන විගණකාධිපතිවරයෙකු නොමැතිකම නිසා ජාතික විගණන කාර්යාලයේ කටයුතුවලට බරපතල බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.
පසුගිය බදාදා (18) පැවති ව්‍යවස්ථා සභා රැස්වීමේදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසින් රාජසිංහ මහතාගේ නම ඉදිරිපත් කර තිබූ අතර, කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද හතරක් පමණක් ලැබී ඇත.
විරුද්ධව ඡන්ද පසක් ලැබී ඇති අතර, සිවිල් සමාජ සාමාජිකයන් තිදෙනාම, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ SJB මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා විරුද්ධව ඡන්දය දුන්හ. අග්‍රාමාත්‍යවරිය, සභානායක බිමල් රත්නායක මහතා, මන්ත්‍රීවරුන් එම්. ආදම්බාවා සහ එස්. ශ්‍රීධරන් යන මහත්වරුන් යෝජනාවට පක්ෂව ඡන්දය දුන්හ.
පෙර විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා විශ්‍රාම ගැනීමෙන් පසු ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ විගණන නිලධාරී එච්.ටී.පී. චන්දන මහතාගේ නම මුලින් ඉදිරිපත් වූ නමුත් එයද ප්‍රතික්ෂේප විය. ඉන්පසු ජ්‍යෙෂ්ඨ නිලධාරී ධර්මපාල ගම්මන්පිල මහතා වැඩබලන ලෙස පත්වූ අතර, ඔහුගේ කාලය දීර්ඝ කිරීමද බැහැර කෙරිණි. ඊළඟට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති එල්.එස්.පී. ජයරත්න මහත්මියගේ නමද ප්‍රතික්ෂේප විය.
විගණකාධිපති දෙපාර්තමේන්තුව රජයේ අකාර්යක්ෂමතා සහ පාඩු හෙළිදරව් කිරීමේ බලය ඇති ආයතනයක් බැවින්, රජයේ ගැටලු ස්වාධීනව නොකියන කෙනෙකු පත්කිරීමට ජනාධිපතිවරයා උත්සාහ කරන බවට චෝදනා එල්ල වේ. ලබන වසරේදී ජාතික ජන බලවේග රජයේ කාර්යසාධන ඇගයීම විගණකාධිපතිගේ වගකීමක් වීමත් සමග මෙම තත්ත්වය රජයේ විගණන බිය පිළිබඳ සංකේතයක් බවට පත්ව ඇත.