ඔයාත් තමන්ගේ මතයට විරුද්ධ පුවත්ම වැඩිපුර දකිනවාද? - සමාජ මාධ්‍ය ගැන අලුත් හෙළිදරව්වක්
සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගේ පෞද්ගලික අදහස් හා විශ්වාසයන්ට පටහැනි අන්තර්ගතයන් පවා ඔවුන්ට වැඩි වශයෙන් නිර්දේශ කිරීමට සමාජ මාධ්‍ය ඇල්ගොරිතම කටයුතු කරන බව නව අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.
ඇමරිකානු වැඩිහිටි සමාජ මාධ්‍ය භාවිත කරන්නන් 715 දෙනෙකු යොදාගෙන සිදුකළ මෙම පර්යේෂණයෙන් පෙන්වා දෙන්නේ, විශේෂයෙන්ම තමන් එකඟ නොවන පළ කිරීම්වලට ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් එවැනි අන්තර්ගතයන් තවදුරටත් නිර්දේශ වීමට ඉඩ ඇති බවයි.
Proceedings of the National Academy of Sciences (PNAS) සඟරාවේ පළ කර ඇති මෙම පර්යේෂණය මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ (MIT) Ziv Epstein සහ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ Michael S. Bernstein ඇතුළු පර්යේෂක කණ්ඩායමක් විසින් සිදුකර තිබේ.
මෙහිදී X (පෙර Twitter) සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගේ පළ කිරීම් පෙන්වන ආකාරය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇත.
ඒ අනුව, පර්යේෂණයට එක්වූ පුද්ගලයන්ගේ ගිණුම්වල පෙන්වන 'Following' සහ 'For You' යන ප්රවෘත්ති සංග්‍රහ දෙකෙහි අන්තර්ගතයන් විශ්ලේෂණය කර තිබේ.
'Following' සංග්‍රහය මගින් පරිශීලකයන් තමන් අනුගමනය කරන ගිණුම්වල පළ කිරීම් පෙන්වන අතර, 'For You' සංග්‍රහය ඇල්ගොරිතම මගින් තෝරා නිර්දේශ කරන අන්තර්ගතයන්ගෙන් සමන්විත වේ.
පර්යේෂණයේදී කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදාගනිමින් එම පළ කිරීම්වලින් පිළිබිඹු වන වටිනාකම් හා අදහස් විශ්ලේෂණය කර පරිශීලකයන්ගේ පෞද්ගලික විශ්වාසයන් සමඟ සංසන්දනය කර ඇත.
එහිදී අනාවරණය වී ඇත්තේ, පරිශීලකයන් අනුගමනය කරන ගිණුම්වල පළ කිරීම් බොහෝවිට ඔවුන්ගේ පෞද්ගලික අදහස් හා විශ්වාසයන්ට ගැළපෙන නමුත්, ඇල්ගොරිතම මගින් නිර්දේශ කරන අන්තර්ගතයන් එම අදහස් සමඟ නොගැළපීමේ ප්‍රවණතාවක් පවතින බවයි.
එසේම, සම්ප්රදාය, පිළිවෙළ, නීති රීති අනුගමනය කිරීම සහ සමාජ ආරක්ෂාව සම්බන්ධ අන්තර්ගතයන්ට වැඩි ප්‍රමුඛතාවක් හිමිවන බවත්, අන්‍යයන් රැකබලා ගැනීම, විශ්වාසවන්තභාවය සහ පරිසර ආරක්ෂාව සම්බන්ධ අන්තර්ගතයන්ට සාපේක්ෂව අඩු අවධානයක් යොමු වන බවත් පර්යේෂකයන් පෙන්වා දී තිබේ.
ඇයි තමන් අකමැති පළ කිරීම් නැවත නැවතත් පෙන්වන්නේ?
මෙම තත්ත්වයට පරිශීලකයන්ගේම ක්‍රියාකාරකම් බලපාන බව පර්යේෂකයන්ගේ අදහසයි.
ඒ අනුව, පළ කිරීම්වලට කැමැත්ත පළ කිරීම (Likes), නැවත බෙදාහැරීම (Reposts) සහ ප්‍රතිචාර දැක්වීම (Replies) යන ක්‍රියාකාරකම් පිළිබඳව ද අධ්‍යයනය කර ඇත.
එහිදී හෙළි වී ඇත්තේ, පරිශීලකයන් තමන්ගේ අදහස්වලට ගැළපෙන පළ කිරීම්වලට කැමැත්ත පළ කිරීමට සහ ඒවා බෙදාහැරීමට වැඩි නැඹුරුවක් දක්වන බවයි.
එහෙත් තමන්ගේ අදහස්වලට විරුද්ධ පළ කිරීම් සම්බන්ධයෙන් ඔවුන් බොහෝවිට ප්‍රතිචාර දක්වන බව ද හඳුනාගෙන තිබේ.
ඒවා විවේචනය කිරීම, අභියෝගයට ලක් කිරීම හෝ විරුද්ධත්වය පළ කිරීම එවැනි ප්‍රතිචාරවල අරමුණ වී ඇත. සමාජ මාධ්‍ය ඇල්ගොරිතම මගින් පරිශීලකයන්ගේ ක්‍රියාකාරකම් අන්තර්ගතයක් කෙරෙහි ඇති උනන්දුවේ සංඥාවක් ලෙස සලකන බැවින්, තමන් අකමැති පළ කිරීම්වලට නැවත නැවතත් ප්‍රතිචාර දැක්වීමෙන් එවැනි අන්තර්ගතයන් තවදුරටත් නිර්දේශ වීමට ඉඩ ඇති බව පර්යේෂකයන් පෙන්වා දෙයි.
ඒ අනුව, යම් පළ කිරීමක් සමඟ එකඟ නොවී එය විවේචනය කිරීමට ප්‍රතිචාර දැක්වීම පවා, එවැනි පළ කිරීම් වැඩි වශයෙන් තමන් වෙත ගෙන ඒමට හේතු විය හැකිය.
දේශපාලන අදහස් අනුවත් වෙනස්කම්
පර්යේෂකයන් පෙන්වා දෙන්නේ දේශපාලන මතවාදය කුමක් වුවත්, පරිශීලකයන්ගේ පෞද්ගලික විශ්වාසයන්ට සම්පූර්ණයෙන්ම නොගැළපෙන අන්තර්ගතයන් ඔවුන් වෙත නිර්දේශ වන බවයි.
කෙසේ වෙතත්, මෙම නොගැළපීම ඩිමොක්රටික් පක්ෂයට සහාය දක්වන පරිශීලකයන් අතර වඩාත් කැපී පෙනෙන බව ද අධ්‍යයනයෙන් අනාවරණය වී තිබේ.
එමෙන්ම, ලොව පුරා ජනප්‍රිය අන්තර්ගතයන් රිපබ්ලිකන් පක්ෂයේ වටිනාකම්වලට වඩාත් සමීපව ගැළපීම ද මෙයට බලපාන එක් කරුණක් විය හැකි බව පර්යේෂකයන් සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, මෙම අධ්‍යයනය නිරීක්ෂණ දත්ත මත පදනම්ව සිදුකර ඇති බැවින්, තමන් එකඟ නොවන පළ කිරීම්වලට ප්‍රතිචාර දැක්වීමම මෙවැනි තත්ත්වයට සෘජුවම හේතු වන බව නිශ්චිතව තහවුරු කළ නොහැකි බව ද ඔවුන් අවධාරණය කර තිබේ.
ඒ සඳහා වැඩි පිරිසක් සහභාගී කරගනිමින් පාලිත පර්යේෂණ සිදුකිරීම අවශ්‍ය බව ද පර්යේෂකයන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.
මෙම අධ්‍යයනයෙන් මතු කරන්නේ, පරිශීලකයන්ගේ අවධානය සහ ක්‍රියාකාරීත්වය උපරිම කිරීම අරමුණු කරගත් සමාජ මාධ්‍ය ඇල්ගොරිතම, ඔවුන්ගේ සැබෑ අදහස් හා කැමැත්තට ගැළපෙන අන්තර්ගතයන්ම ලබාදෙන බවට සහතිකයක් නොමැති බවයි.