ගල්පෙරළීම් සහ පස්කඳු කඩාවැටීමේ වසා දැමුණු මෙම මාර්ගයේ යන සියලුම දෙනාට විශේෂ දැනුම්දීමක්
ගල්පෙරළීම් සහ පස්කඳු කඩාවැටීමේ අවදානම හේතුවෙන් වසා දැමුණු කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව සහ ගනේතැන්න අතර මාර්ග කොටස යළි විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
පැවති අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඊයේ (10) පස්වරුවේ සිට අද පෙරවරු 6.00 දක්වා අදාළ මාර්ග කොටසේ රථවාහන ධාවනය තාවකාලිකව අත්හිටුවීමට මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කාර්යාලය පියවර ගෙන තිබුණි.
මේ අතර, පස්කඳු සහ ගල්පෙරළීම් වාර්තා වූ කඩුගන්නාව ප්‍රදේශයේ විශේෂ ස්ථානීය පරීක්ෂාවක් සිදු කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් පිරිසක් අද දිනයේ පැමිණීමට නියමිතව ඇත.
අයහපත් කාලගුණය පිළිබඳ අදහස් දක්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අද පස්වරු 1.00 න් පසුව දිවයිනේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි පතිත විය හැකි අතර, උතුරු පළාතට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට ද විටින් විට වැසි ඇතිවිය හැකිය.
තවද, අධික වර්ෂාවත් සමඟ නොරිස් ඇළ පිටාර ගැලීමෙන් සිදුවන ගංවතුර හානි වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව කොළඹ මහ නගර සභාව පවසයි.
එහි නාගරික කොමසාරිස් ඒ.ඩී.එස්. රෝහණ මහතා සඳහන් කළේ ඇළ මාර්ගය පිළිසකර කිරීමට සහ අවහිර වී ඇති කණු පද්ධති පුළුල් කිරීමට යුද හමුදාවේ මූලිකත්වයෙන් පියවර ගනිමින් සිටින බවයි.